තරුණයන් 11 දෙනෙකු පැහැරගත්, නේවි සම්පත්ව ආරක්ෂා කළේ රවීන්ද්‍ර විජේගුණවර්ධන බව තහවුරුයි.
මීට වසර 10 කට පමණ පෙර කොළඹදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිදුවීමේ සැකකරුවෙකු වන ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි හෙවත් නේවි සම්පත් නාවික හමුදා මූලස්ථානයේ සැඟව සිටියේ එවකට නාවික හමුදාපති අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා දැනුවත්ව බව නැවතත් පරීක්ෂණවලදී තහවුරු වී තිබෙනවා.
රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට සහ ව්‍යාපාරිකයෙකු වන ලක්සිරි අමරසිංහ මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදී රහස් පොලිස් නිළධාරීන් මේ බව අධිකරණයේදී ප්‍රකාශ කළේය. ඔවුන් දෙදෙනාට එල්ල වී ඇති චෝදනාව වන්නේ තරුණයන් 11 දෙනාගේ සිදුවීමේ සැකකරුවෙකු වන නේවි සම්පත් නමැත්තාට වරෙන්තු නිකුත් කර තිබියදී ඔහුට සැඟවී සිටීමට හා රහසිගත ලෙස රටින් පිටවීමට ආධාර හා අනුබල දීමයි.
රහස් පොලීසිය වෙනුවෙන් අධිකරණය වෙත කරුණු දැක්වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළේ, 2017 වසරේ මාර්තු පළමුවැනිදා සිට 31 වැනිදා දක්වා නේවි සම්පත් නමැති සැකකරු නාවික හමුදා මූලස්ථානයේ සැඟව සිටියේ හිටපු නාවික හමුදාපතිවරයාගේ දැනුවත්භාවය මත වන බවට සාක්ෂි හෙළි වී තිබෙන බවයි.
අදාල කාලය තුළ නේවි සම්පත් හමුවීමට ඔහුගේ බිරිඳ විසින් ලබාදුන් සාක්ෂිවලින් මෙය තහවුරු වන අතර මීට අමතරව අදාල කාලය තුළ ඔහු සමග ගනුදෙනු කළ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගලගමගේ ලබාදුන් සාක්ෂිවලින් ද මෙම තොරතුරු හෙළි වී තිබේ. අධිකරණයෙන් වරෙන්තු ලැබී ඇති බැවින් සැඟවී සිටින්නැයි නාවික හමුදාපතිවරයා තමන්ට දැනුම් දුන් බව නේවි සම්පත්, තමන් සමග ප්‍රකාශ කළ බව ලක්සිරි ගමගේ විසින් රහස් පොලීසියට ලබාදුන් කට උත්තරවල සඳහන් වේ.
සැකකරුට රහසිගතව පළායාම සඳහා හිටපු නාවික හමුදාපතිවරයා මෙන්ම මෙම නඩුවේ අනෙක් විත්තිකරු වන ලක්සිරි අමරසිංහ නමැත්තා උදව් කර ඇති අතර රටින් පිටවීම සඳහා ඔහු විසින් නේවි සම්පත්ට ඇමරිකානු ඩොලර් 5000 ක් ලබා දී තිබේ. එම තොරතුරු තවදුරටත් තහවුරු කර ගැනීම සඳහා අදාල බැංකු ගිණුම් පරික්ෂා කිරීම සඳහා පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඒ සඳහා අධිකරණයේ අවසර ලැබිණි.
(LNW)