ගෝඨාභය ජනපති අපේක්ෂකයා කරන්න තීන්දුවක් ගෙන නෑ – වෙල්ගමගෙන් විශේෂ හෙලිදරව්වක්.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කරනවට ඔබ විරුද්ධව කතා කළා. ඒත් දැන් ඔහු ඒ සඳහා යෝජනා වෙලා ඉවරයි නේද?
කවුද කියන්නෙ තවම එහෙම කිසිම තීන්දුවක් කවුරුත්ම අරගෙන නැහැ.
ඇයි නැත්තේ ගෝඨාභය රාජපක්ෂ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂත් අවසර දීලා ඉවරයි නේද?
එහෙම දෙයක් මම නම් තවම දන්නේ නැහැ. සමහරු හිතාගෙන ඉන්නෙ ඊළඟ ජනාධිපති අපේක්ෂකයා ඔහු කියලා තමයි. ඒ නිසා නොයෙකුත් කතා පතුරනවා.
ඔබේම පෙරමුණේ සමහර අය නම් කියන්නේ රට ඉල්ලන්නේ ගෝඨාභය රාජපක්ෂ කියලයි
ඕවා නිකන් කයිවාරු විතරයිනෙ. ගෝඨාභයද වෙන කවුරුද කියලා අදාළ නැහැ. රටේ ජනතාව ඉල්ලන්නෙ ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරන මිනී නොමරන පලි නොගන්නා නායකයෙක් මිස ඒකාධිපතියෙක් නෙවෙයි.
ඔබ ඔය නොකියා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ඒකාධිපතියෙක් කියලද?
කවුද එහෙම කිව්වේ. මම එහෙම කිව්වද මම කියන දේවල්වලට වැරදි විදිහේ අර්ථකතන දෙන්න එපා.
ඒත් ඔබ මේ චෝදනා කරන්නේ ගෝඨාභය රාජපක්ෂට කියල ඕනැ කෙනෙකුට තේරෙනවනෙ.
කවුද එතුමාට චෝදනා කළේ. මම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම කියලා එතුමා මේවාට, මේවාට වගකිව යුතුයි කියලා කිසි දවසක කියලත් නැහැ. කියන්නෙත් නැහැ. ඔබ එවැනි දෙයක් මගෙන් කියවගන්න හදන්නත් එපා.
ඇයි ඔබ ඔහුට බයද ?
මම හොඳ කළු සිංහලයෙක්. ඒ වගේම හයේ හතරේ හොඳට නාඩි වැඩ කරන මිනිහෙක්. මම ඔය කාටවත් බය මිනිහෙක් නෙමේ. කියන්න ඕන දේ ජනාධිපතිගේ වුණත් මුහුණට කියන මිනිහෙක් මම. සිරිසේන ජනාධිපතිතුමා ජාතික ආණ්ඩු හදන්න හදනකොට ඔහුගේත් මුහුණටම දොස් කියලා නැගිටලා ආපු මිනිහා මමයි. මහින්ද මහත්තයා සිරිසේනගේ ගැටේට අහුවෙලා අගමැතිකම ගන්න යනකොටත් සර් ඕක කරන්න එපා කියලා කිව්වේ මමයි. කෙළින් කතා කරන්න මට හොඳ කොන්දක් තියෙනවා.
ගෝඨාභය රාජපක්ෂට බය නැත්නම් ඔහු ජනාධිපති අපේක්ෂකයා කිරීමට ඔය තරම් විරුද්ධ මොකද?
මම ඔබට නැවතත් කියන්නෙ ඔහු පිළිබඳව නොවෙයි මම කතා කරන්නෙ. මේ රටේ ඉන්නේ අහිංසක ජනතාවක්. මේ ජනතාව රවට්ටලා, බයකරලා තමන්ගේ බඩ ගෝස්තරය වෙනුවෙන් මේ තරම් කාලයක් අපේ නායකයෝ කරපු ජඩ දේශපාලනය දැන්වත් නතර වෙන්න ඕනෙ කියන එකයි. මේ ප්‍රධාන පක්ෂ දෙක තමයි හැමදාම ආණ්ඩු කළේ. ඔය කාලය පුරාවට මිනීමැරුම්, පලිගැනීම් කොච්චර වෙලා තියෙනවද?
ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව කාලෙත් එහෙම වුණා කියන එකනේ
මහින්ද මහත්තය රටේ ජනාධිපති විතරයිනෙ. වෙන වෙන අය තම තමන්ගේ වුවමනා එපාකම් වෙනුවෙන් කරපු හැම දේකටම මහින්ද මහත්තයා පලි නැහැනෙ. ඔය එතුමා වටේ හිටපු සමහරු තමයි ඔය වගේ අපරාධ කළේ. ඉදිරියටවත් මේ වගේ අපරාධ, මිනීමැරුම් මේ රටේ සිද්ධ වෙන්න බැහැ. නායකයෝ විදියට අපේ යුතුකම වෙන්නෙ රට විනාශ නොකර, අනාගත පරම්පරාවට හොඳ රටක් නිර්මාණය කිරීමයි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට සුදුසු නැහැ කියලා ඔබ සිතනවද?
එතුමා හොඳ දක්ෂ නිලධාරියෙක්. යුද්ධය අවසන් කිරීමට එතුමා විශේෂ කැපකිරීමක් කළා. ඉන්පසු කොළඹ නගරය හරි අපූරුවට ගොඩනැගුවා. නිලධාරියකු ලෙස එතුමාගේ හැකියාව, දක්ෂතාවය මැනවින් අපි දැක තිබෙනවා. නමුත් එතුමා දේශපාලනඥයෙක් විදිහට කොයි වගේද කියල මට දැන්ම අනාවැකියක් කියන්න බැහැ.
ඔහු ජනාධිපති අපේක්ෂකයා වුණොත් ඔබගේ සහය ඔහුට ලබා දෙනවද?
මම දන්න තරමට ඔහු තාම ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත්කරගෙනත් නැහැ. ඒ සඳහා ඉල්ලීමක් කරලා ඇති. ඒ නිසා අපි මේ එක්කෙනකුගෙ නමක් අල්ලගෙන වාද කරලා වැඩක් නැහැ. අපි කතා කරන්න ඕනේ රටට ගැළපෙන මිනිසුන්ට ආදරය කරන ප්රජාතන්ත්රවාදය සුරකින නායකයෙකුට මේ රට භාරදීම පිළිබඳවයි. එකිනෙකා ඇණකොටාගන්න ජරා දේශපාලනයට දැන්වත් තිත තැබිය යුතුයි.
ජනාධිපති අපේක්ෂකත්වයට ඔබත් සුදුසුයි කියලා පහුගිය කාලේ කිව්වා නේද?
මම එහෙම කිව්වා තමයි. ගෝඨාභය රාජපක්ෂත්, බැසිල් රාජපක්ෂත්, චමල් රාජපක්ෂත් ජනාධිපති අපේක්ෂකත්වයට සුදුසු නම් කවදාවත් පක්ෂය දාලා නොගිය අවුරුදු තිස්පහකට වැඩිය දේශපාලනයේ ඉන්න කෙළින් කතා කරන ඇත්ත වෙනුවෙන් පෙනී සිටින මමත් ජනාධිපතිකමට සුදුසුයි කියලයි මම කිව්වේ. කාට වුණත් මේ රටේ ලෙහෙසියෙන් ජනාධිපති වෙන්න බැහැ. ඒ සඳහා පෙර පින් තියෙන්න ඕනේ. ඊට සරිලන ස්වරූපයක් ජනතා විශ්වාසයක් තිබිය යුතුයි. එහෙම නැති කෙනෙක් මොකක් හරි කුමන්ත්‍රණයක් කරලා ජනාධිපති පුටුවේ වාඩි වුණොත් ඔහුට පැවැත්මක් නැහැ.
ඔබ තවමත් ඊළඟ ජනාධිපති අපේක්ෂකයා වෙන්න සිහින දකිනවද?
මට ඒ තරම් කෑදර කමක් නැහැ. දැන් අපි වයසක මිනිස්සුනෙ. මේ රටේ නායකත්වය දැන්වත් තරුණ නායකයෙකුට භාරදිය යුතුයි. අවුරුදු හැටපහට වැඩි මම වගේ අය සියලු දෙනා පැත්තකට වෙන්න ඕනේ. අපි ජ්‍යෙෂ්ඨ නායකයන් ලෙස ගෞරවාන්විත සේවයක් රටට ලබාදෙමින් තරුණ නායකයන්ට මේ රට භාරදීම කළ යුත්තේ. අවුරුදු හැටපහ පැන්නට පස්සේ අපගේ දැනුම, ආකල්ප සියල්ල වෙනස්වෙනවා. කතාවටත් කියනවනේ වයසට ගියාම පොඩි ළමයි වගේ වෙනවා කියලා අවුරුදු 45, 55 උපරිම අවුරුදු 60 කින් මෙහා පැත්තේ කෙනෙකුව රටේ නායකයා කරගන්න පුළුවන් නම් හොඳයි.
මහින්ද මහත්තයා වයසට යන්නේ නැද්ද? ඔබ කියන නිර්ණායක රාජපක්ෂවරුන්ට අදාළ නැද්ද?
ඔවුන්ටත් එක්ක තමයි කිව්වේ. අනික මම කිව්වේ මටත් එක්කනෙ. හැබැයි මහින්ද මහත්තයා මේ රටේ සුවිශේෂී නායකයෙක්. ඒ වගේම ගෞරාන්විත පුද්ගලයෙක්. මම විශ්වාස කරන්නේ ඔහු පෙර ආත්මයක රජ කෙනෙක් කියලයි. ඒ වගේම එතුමාගේ දැනුම, බුද්ධිය, පෙනුම තවමත් වයසට ගිහිල්ල නැහැ. ඒ වගේ රටේ ජනතාව බහුතරයක් එතුමාවම නැවත ඉල්ලනවා. ඒ නිසා එතුමා තවදුරටත් මේ දේශපාලනයේ සිටිය යුතුයි. එය අපේ රටට ගෞරවයක්.
ඔබ ඔහොම මොනා දේශනා කිව්වත් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෝ තරුණ නායකයන්ට ඉඩදීලා පැත්තකට වෙයිද?
ඒක තමා ප්රශ්නය. අපේ සමහරු තනතුරු තානාන්තර බදාගෙන ඉන්නෙ. ඒ අය හිතාගෙන ඉන්නේ මේ සියල්ල මැරෙනකොටත් අරගෙන යන්න පුළුවන් කියලා. සමහරු දේශපාලනය කරන්නේ සල්ලි හම්බ කරන්නයි. මොකද දේශපාලනය තමයි සමහරුන්ට මුදල් උපයන්න තිබෙන හොඳම ව්‍යාපාරය. කොහොම හරි ප්‍රධාන පක්ෂ දෙකෙන් එකකට පැන ගත්තාම පරම්පරාවකටම හරියන්න රටේ ජනතාවගේ මුදල් හොරකම් කරනවා.
රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රධාන ඇමැතිකම්වල සැප විඳපු යුගයේ ඔබ මේ වගේ ජනතාවාදී මෙන්ම ප්රජාතන්ත්රවාදී අදහස් ප්‍රකාශ කරලා නැහැනෙ. මොකක්ද මේ වෙනස.
කාට වුණත් යමක් කමක් තේරෙන්නෙ වයසින් මුහුකුරා ගිය විටයි. අද අපි වයසයි. ජීවිතයේ යථාර්ථය හොඳින් තේරෙනවා. ඒ නිසා නායකයෝ ලෙස අපි ජනතාවට ඇත්ත කිය යුතුයි.
මේ රටේ ජනාධිපතිධුරය ටයිකෝට් කාරයෙකුට හිමිවෙන්නේ නැහැ කියලා ඔබ පැවැසුවෙත් ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරගෙන නේද? මම ඇහුවේ ටයිකෝට් කාරයො කිව්වේ කාටද?
ඇයි වික්‍රමසිංහ මහත්තයත් ටයිකෝට්කාරයෙක් නෙවෙයිද ටයිකෝට් කාරයො තව කොච්චර ඉන්නවද? ඉතිහාසය ගත්තාම මේ රටේ හිටපු සෑම ජනාධිපතිකෙනෙක්ම ඇන්දෙ ජාතික ඇඳුමයි. ඒක නිසයි මම එහෙම කිව්වේ.
විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තෝරන්නේ මහින්ද මහත්තයා නේද?
මම හිතන්නේ එය ඔහුගේ තනි තීරණයක් නොවිය යුතුයි. විපක්ෂයේ කණ්ඩායමක් හැටියට අපි එකට හිඳ අපගේ අපේක්ෂකයා තීරණය කළ යුතුයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම පවසන්නේ මීළඟ ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදිය යුතු බවයි.
ඔවුන් එහෙම කිව්වට අපි දෙගොල්ලම ජනාධිපති අපේක්ෂකත්වය එකට හිඳ තේරුවේ නැත්නම් එය අපිට ලොකු අවාසියක් වෙනවා. එක්සත් ජාතික පක්ෂය තනි පක්ෂයක් හැටියට කටයුතු කරද්දි අපි බෙදී වෙන්වී කටයුතු කළහොත් අපේ අපේක්ෂකයා කවුරු වුණත් අපිට දිනන්න අමාරුවෙනවා.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පාතාලයට මත්ද්‍රව්‍යවලට එරෙහිව ගෙනයන සටන ගැන ඔබ මොකද හිතන්නේ.
මම එය පිළිගන්නවා. අගය කරනවා. එතුමා ජාතික ආණ්ඩුව අවසන් කිරීමට එඩිතර තීන්දුවක් ගත්තා. එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපේ රටට ගැළපෙන්නෙ නැහැ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා රට ගොඩගන්න උත්සාහයක නිරත වෙනවා. පාතාලය සහ මත්ද්‍රව්‍ය තුරන් කරන්න එතුමා ගෙන යන සටන අගය කරනවා. ඒ වගේම පසුගිය අවුරුදු හතරක කාලය තුළ අපේ රටේ දේශපාලනික වශයෙන් ඝාතනයන් සිදුවුණේ නැහැ. එය ඉතා හොඳ තත්ත්වයක්. නමුත් රටට අවශ්‍ය වෙන්නේ මේ රට වැටී ඇති තත්ත්වයෙන් කෙටි කාලයක් තුළ ගොඩගන්න පුළුවන් තරුණ ජවසම්පන්න නායකයෙක්.
එවැනි කෙනෙක් ඉන්නවද?
වෙලාව ආවම දැනගන්න ලැබෙයි.
නිදහස් පක්ෂය සමග ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව ගොඩනගන සන්ධානයට මොකද වෙන්නෙ.
තවම නැහැනෙ. සාකච්ඡා කරනවා විතරයි.
එම සාකච්ඡාවලට ඔබව සහභාගි කරව ගන්නේ නැත්තේ ඇයි ?
මම කියන්න තියෙන දේ මුහුණට කියන නිසා වෙන්න ඇති.
පානුක රාජපක්ෂ(ලක්බිම)