ඉසුරු උදානගේ ප්‍රවේගකාරී පිතිහරඹය අපතේ යයි
ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 48 කදී නොදැවී ලකුණු 84 ක් රැස්කිරීමට ඉසුරු උදාන සමත් වුවද, මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය හේතුවෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව සෙන්චූරියන්හිදී 22 වැනිදා පැවැති දෙවැනි විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 16 ක පරාජයක් උරුම විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 181 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 164 ක් පමණි. එහිදී අනුකම්පා විරහිත පිතිහරඹයක නිතර වූ ඉසුරු උදාන, දකුණු අප්‍රිකානු පන්දු යවන්නන්ට එලව එලවා පහර දුන්නේ හයේ පහර 6 කින් සහ හතරේ පහර 8 කින් සිය මංගල විස්සයි20 අර්ධ ශතකය අලංකාර කරමිනි.
අටවැනි පිතිකරු ලෙස පිටියට පිවිසි උදාන, අටවැනි කඩුල්ල වෙනුවෙන් අකිල ධනංජය (1) සමග එක්ව පන්දු 23 කදී ලකුණු 46 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනයෑමේ උත්සාහයක නිතර වුවද, ඔහුගේ සහායට කිසිවකු නොසිටීම නිසා අවසානයේදී එම උත්සාහය අසාර්ථක විය.
මුලු ලකුණු සංඛ්‍යාව 5 ක් වන විට පළමු ඕවරය තුළදීම ආරම්භක පිතිකරු අවිෂ්ක ප්‍රනාන්දු (0) මෙන්ම කුසල් මෙන්ඩිස්ද (4) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ඬේල් ස්ටේන් සමත් විය. සිවුවැනි ඕවරයේ පිට පිට පන්දු 2 කදී නිරෝෂන් දික්වැල්ල (20) සහ කමිඳු මෙන්ඩිස් (0) පිටියෙන් ඉවත් කළ ක්‍රිස් මොරිස් ලකුණු 31 කට කඩුලු 4 ක් ලෙස ආරම්භයේදීම ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා අසීරු තත්වයකට ඇද දැමුවේය.
තිසර පෙරේරා පන්දු 15 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 22 ක් රැස්කළ නමුත්, ඇන්ජලෝ පෙරේරාගේ (11) සහ ධනංජය ද සිල්වාගේ (10) විස්සයි20 තරග රටාවට අනුචිත ක්‍රීඩා විලාශය හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ක්‍රම ක්‍රමයෙන් මන්දගාමී විය.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා දකුණු අප්‍රිකාවට ආරාධනා කර සිටි අතර රීසා හෙන්ඩි්රක්ස්ගේ (65) සහ රාසි වැන්ඩර් ඩුසේන්ගේ (64) වාර්තාගත සම්බන්ධතාව හමුවේ ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 180 ක් ලබාගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.
