ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

ගෝඨා අපේක්ෂකයා කිරීමට රාජපක්‍ෂ පවුල තීන්දුවක් ගෙන නැහැ..! මහින්ද ජනපති සිරිසේනට දැනුම්දෙයි.

ගෝඨාභය රාජපක්‍ෂට අපේක්‍ෂකත්වය ලබාදීමට තමා එකඟතාව පළකර නොමැති බවත් මාධ්‍ය වාර්තා සහ එකිනෙකා පවසන කරුණු අසත්‍ය බවත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට දැනුම්දී ඇත.

ඉකුත් සතියේ දේශපාලන කරළියේ ප්‍රබලතම ප්‍රවෘත්තිය බවට පත්වූයේ ගෝඨාභය රාජපක්‍ෂට අපේක්‍ෂකත්වය ලබාදීමට මහින්ද රාජපක්‍ෂ එකඟතාව පළකර තිබෙන බවය. ප්‍රබල පුවත්පත්වල එම ප්‍රවෘත්තිය පළවීමත් සමඟ ශ්‍රීලනිපයේ මෛත්‍රීපාල සිරිසේන සමඟ සිටින මන්ත්‍රීවරු දැඩි ලෙස කලබලයට පත් වූහ. අභ්‍යන්තර වශයෙන් ශ්‍රීලනිපයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතවාදී ගැටුමක් ද නිර්මාණය වීය.

මෙම තත්වය තේරුම්ගත් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉක්මනින් මැදිහත්වී එම ප්‍රශ්ණය නිරාකරනය කරන ලදි. ඒ අනුව  “ප්‍රසිද්ධ වෙමින් තිබෙන ආරංචි නිවැරැදි නැහැ. ගෝඨාභය තෝරා ගැනීමට රාජපක්‍ෂ පවුල තීන්දුවක් ගෙන නැහැ. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ පණිවුඩයක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදී තිබෙනවා. ඒ අනුව මහින්ද කියා ඇත්තේ තවමත් ජනාධිපති අපේක්‍ෂකයා පිළිබඳ ස්ථීර තීන්දුවක් ගෙන නැති බවයි” යැයි ශ්‍රීලනිප නායකයෙක් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මෛත්‍රීපාල සිරිසේන ද නැවත ජනාධිපතිවරණයට තරග කිරීමේ අපේක්‍ෂාවෙන් පසුවන හෙයින් ශ්‍රීලනිපයට හා පොදුජන පෙරමුණට අවසන් තීන්දුවකට එළඹීම පහසු නොවන බව ද පක්‍ෂ දෙකේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර ගෝඨාභය රාජපක්‍ෂ මීට දින කිහිපයකට පෙර තමන් ජනාධිපති අපේක්‍ෂකයා විය හැකි බවත් තමන්ට සුළු ජාතීන්ගේ ඡන්ද ලබාගත හැකි බවත් ප්‍රකාශ කළේය.

මේ අතර දේශපාලන විචාරකයන් පෙන්වාදී ඇත්තේ ජනාධිපතිවරණයක් ඉදිරියේදී පවත්වන්නේනම් එය ගලඋඩ සටනක් වනු ඇති බවය. රටේ බහුතර ජනතාවගේ කැමැත්ත මෙන්ම සුළු ජාතීන්ගේ ඡන්ද දිනාගැනීම, ජාත්‍යන්තර ප්‍රසාදය හා සහාය හිමිකර ගැනීම අනිවාර්ය සාධක වෙන බව ද සමතුලිත ලෙස ඒ සියලු අභියෝග සමතුලිත කර ගැනීමකින් තොරව ජනාධිපතිවරණය දිනාගත නොහැකි බවද දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.