ආචාරධර්ම කඩ කිරීමෙන් නාගානන්දගේ නීතීඥභාවය අත්හිටුවයි
නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ නීතිඥභාවය වසර 03 කට අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නියෝග කළේ ය.
හිටපු අභියාචනාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ මහතාට අපහාස කිරිමේ චෝදනාවකට අදාළව පැවති නඩු විභාගයේ තීන්දුව අද දිනයේ ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර සිටියේ නාගානන්ද මහතාගේ නීතීඥභාවය වසර තුනකට අත්හිටුවන බවය.
2015 වසරේ මැයි මස 23 දා එවකට අභියාචනාධිකරණ සභාපති විනිසුරු වශයෙන් කටයුතු කළ විජිත් මළල්ගොඩ මහතා ඉදිරියේ පැවති රේගු නඩුවකදී ඒ මහතා අපහසුවට පත්වන අයුරින් නීතිඥවරයෙකුට නුසුදුසු ආකාරයේ ප්‍රකාශයක් සිදු කලේ යැයි චෝදනා කරමින් නාගානන්ද කොඩිතුවක්කු මහතාට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
නීතිඥ කොඩිතුවක්කු විසින් විනිසුරු විජිත් මලල්ගොඩ මහතා වෙත එල්ල කළ චෝදනාව පදනම් විරහිත අසත්‍ය චෝදනාවක් බව පෙන්වාදුන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජයවර්ධන මහතා ඒ තුළින් ඔහු නීතිඥවරුන්ගේ ආචාරධර්ම සංග්‍රහයේ 60 සහ 61 වන වගන්ති උල්ලංඝනය කර ඇති බව ද කියා සිටියේය.
එහෙත් ඉකුත් 13 වනදා මෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී තමන් විසින් විනිසුරු විජිත් මළල්ගොඩ මහතා වෙත එල්ල කළ චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස්කර ගන්නා බවත් ඒ පිළිබඳව කණගාටුව පළ කරන බවත් නාගානන්ද කොඩිතුවක්කු නීතිඥවරයා විසින් ප්‍රකාශ කර තිබුණත් ඔහු විසින් කර ඇති ප්‍රකාශය බරපතළ භාවය සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණයට සිදුව ඇති බවද විනිසුරු ජයවර්ධන මහතා කියා සිටියේය.
අගවිනිසුරු නලින් පෙරේරා , සිසිර ද ආබෲ සහ ප්‍රසන්න ජයවර්ධන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම නඩුව විභාග කෙරිණ.
පසුගිය කාලයේදී නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා මහජන අර්ථසිද්ධි නඩුකර සම්බන්ධයෙන් ක්‍රියාකාරිකයෙකු වශයෙන් සක්‍රිය දායකත්වයක් දැක්වූ අතර, අධිකරණය සහ නීති පද්ධතිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකරන සිදුකරමින් මාධ්‍ය ඔස්සේ කැපී පෙනෙන චරිතයක්ව සිටියේය. කෙසේ වෙතත් මෙම නඩු තීන්දුව අනුව වසර තුනකට සිය නීතීඥභාවය ද අහෝසිකර ගැනීමට නාගානන්ද මහතාට සිදුව ඇත්තේ සිය වෘත්තියේ ආචාරධර්ම පවා ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමෙනි.
සිය වෘත්තියේ ආචාරධර්ම පවා හරි හැටි නොදැන ඔහු විසින් පසුගිය වකවානුව පුරා මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කළ කෙස් පැලෙන නීති තර්ක සහ අධිකරණය සම්බන්ධ මත තවදුරටත් වලංගුවන්නේ දැයි මේ වනවිට ගැටලුවක්ව පවතී.