ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

උඩුවේ ධම්මාලෝක හිමි නිදොස්කොට නිදහස් – “අතහැර ගිය අලි පැටවා හදා වඩා ගත්තා,” අධිකරණය පිළිගනියි

බලපත්‍රයක් නොමැතිව නිතිවිරෝධී ලෙස අලි පැටවකු සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව නීතිපතිවරයා ගොනු කර තිබුණු නඩුවේ සියළුම චෝදනාවලින් එහිමි නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (01) නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් විජයරත්න මහතා විසින් එම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

විනිසුරුවරයා එහිදී ප්‍රකාශ කළේ උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිල්ල අපොහොසත්ව ඇති බවයි.

අදාළ අලි පැටවා ධම්මාලෝක හිමි භාරයේ සිටි බවට පැමිණිල්ල ඉදිරිපත් කළ සාක්ෂි එය ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් නොවන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කළ අතර නඩුවට අදාළව අමාත්‍ය වසන්ත සේනානායක මහතා දුන් සාක්ෂි පිළිගත නොහැකි මට්ටමක පැවති බව ද පැවසීය.

ඒ අනුව සියළු චෝදනාවලින් එහිමි නිදොස්කොට නිදහස් කරන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කළේ.

කෙසේවෙතත් මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතීඥ ජනක බණ්ඩාර මහතා අධිකරණයට දැනුම් දුන්නේය.

බලපත්‍ර නොමැතිව අලි පැටවකු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වනසත්ව හා වෘක්ෂ ලතා පනත සහ පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා විසින් උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණු අතර විමර්ශන ආරම්භ වූ මුල් දිනවල එහිමි ප්‍රකාශ කළේ මෙම අලි පැටවා තම විහාරස්ථානය අසල කිසිවකු විසින් අතැර දමා ගොස් තිබුණු බවත් තමන් ඌ හදාවඩා ගත් බවත්ය.

උඩුවේ හිමිට එරෙහිව නඩු පැවරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ද බලවත් නොසතුටට හේතුවී තිබුණු බව ඒ මහතාම මෑතකදී ප්‍රකාශ කළේය