‘අපිට වැරදි තීරණයක් ගන්න පුළුවන්.. එතැනින් එහාට මටවත් මෝදිටවත් මේක පාලනය කරන්න බෑ’ – ඉම්රාන් ඛාන්
ඉන්දියාව සහ පාකිස්තානය අතර අද අලුයම ආරම්භ වූ එදිරිවාදිකම් වලින් පසුව දෙරට අතර සාකච්ඡා ආරම්භ විය යුතු යයි පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන් පවසයි.
‘‘අපේ ක්‍රියාමාර්ගයෙන් කියන්නට ඕනෑ කළේ ඔබලාට අපේ රටට එන්න පුළුවන් නම් අපටත් ඔබලාගේ පෙදෙසට එන්න පුළුවන් කියලයි….මේ ක්‍රියාමාර්ගයේදී ඔවුන්ගේ මිග් යානා දෙකක් වෙඩි තබා බිම දැම්මා. ඒත් මෙතැන් සිට අපි අපගේ ඔළුව පාවිච්චි කරලා බුද්ධිමත්ව කටයුතු කිරීම තමයි වඩාත් වැදගත් වන්නේ‘‘ යයි ඉම්රාන් ඛාන් සිය ප්‍රකාශය පටිගත කිරීමෙන් පසුව රූපවාහිනීයෙන් විකාශය කළේය.
‘‘මම ඉන්දියාවෙන් ඉල්ලන්නේ මෙච්චරයි….
ඔබලාගේ තියෙන ආයුධත්, අපට තියෙන ආයුධත් එක්ක, අපි දෙගොල්ලන්ටම වැරදි තීරණයක් ගන්න පුළුවන්. ඒත් මේක ඇවිළිලා ගියොත්, ඒක එතැනින් එහාට මටවත් මෝදිටවත් පාලනය කරන්න පුළුවන් එකක් නෙමේ‘‘
ඉන්දියාව මෙන්ම පාකිස්ථානයද න්‍යෂ්ටික අවි ඇති බල සම්පන්න යුද හමුදා සහිත රටවල් දෙකකි.
‘‘ඒ නිසා සාකච්ඡා සඳහා එන්න කියා මා ඔබට ආරාධනා කරනවා. අවබෝධයෙන් ක්‍රියා කිරීම වඩාත් හොඳයි කියා මා හිතනවා“ යයි ද පාකිස්තානු අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
දෙරට අතර යුදමය එදිරිවාදිකම් ආරම්භ වූයේ දශක ගණනාවකට පසුවය. 1971 න් මෙපිට දෙරටම යුද ක්‍රියාමාර්ගයකට නොගියහ. එහෙත් දෙදිනකට පෙර ජම්මු කාශ්මීර් කලාපයේදී ජයිස් ඊ-මොහොමඩ් කණ්ඩායමේ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් ඉන්දීය සොල්දාදුවන් 40 දෙනකුට දිවි අහිමි වීමෙන් පසුව ඉන්දීය ගුවන් හමුදාව පාකිස්තානයේ ත්‍රස්තවාදී කඳවුරු වලට බෝම්බ හෙළීය.
පසුව පාකිස්තානයට ඊට ප්‍රතිප්‍රහාර දීම හේතුවෙන් ඉන්දීය සහ පාකිස්තානු ගුවන් හමුදා අතර සටන් ඇවිළිණ. පාකිස්තානයේ විශාලතම ත්‍රස්තවාදී කඳවුරක් වන බලාකොට් වෙත ඉන්දීය ගුවන් හමුදා විසින් පහර දෙනු ලැබීමෙන් පසුව පාකිස්තානු ගුවන් හමුදාවද ප්‍රතිප්‍රහාර දුන්නේය.
පාකිස්තානයේ එෆ්-16 ගුවන් යානයක් ඉන්දීය ගුවන් හමුදාව විසින් බිම දමන ලද අතර ඉන්දියාවටද මිග් යානාවක් අහිමි විය. එහිදී ඉන්දීය මිග් යානා දෙකක් බිම වැටුණු අතර ඉන්දීය ගුවන් නියමුවකු පාකිස්තානයේ අත්අඩංගුවට පත්වූ බව කියැවේ.