විගණන සේවය ස්ථාපිත නොකිරීම නිසා දක්ෂතම නිලධාරීන් 80ක් දෙපාර්තමේන්තුව හැරගිහින් – විගණකාධිපති
විගණන පනත පාර්ලිමේන්තුවේ සම්මත වුවත් ජාතික විගණන සේවය මෙතෙක් ස්ථාපිත නොකිරීම නිසා ඇතිවූ කළකිරීම් මත විගණකාධිපති දෙපාර්තමේන්තුවේ සිටි දක්ෂතම නිලධාරීන් 80 දෙනකු පමණ පසුගිය මාසයේදී ඉන් ඉවත්ව වෙනත් තනතුරු සඳහා ගිය බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය. එදා විගණන පනතට බාධා කළ අයම දැන් විගණන සේවය ගොඩනැගීමට බාධා කරන බව කී විගණකාධිපතිවරයා එය සම්මත කරගැනීමට ජනාධිපතිවරයා කොතෙක් උත්සාහ කළත් නිලධාරීන් මැලිකමක් දක්වන බව පෙනෙන්නට ඇතැයි ද සඳහන් කළේය. රාජ්‍ය විගණන සේවය ස්ථාපිතවීම හරහා නිලධාරීන්ට දිය යුතු පහසුකම් දීමට නොහැකි වීමෙන් ඇතැම් නිලධාරීන් තුළ කළකිරීමක් ඇතිව තිබෙන බව ද ඔහු ප්‍රකාශ කළේය.
විගණකාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතික විගණන කාර්යාලයේදී ඊයේ (27) පැවති ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වැනි සංවත්සර උත්සවයට එක්වෙමිනි.
ජාතික විගණන සේවය ගොඩනැගුණු පසු විගණකාධිපති දෙපාර්තමේන්තුව සම්පූර්ණ ස්වාධීන ආයතනයක් බවට පත්වන බව කී ගාමිණී විජේසිංහ මහතා විගණන සේවය ශක්තිමත් වීම තමන්ගේ වංචා දූෂණවලට බාධාවක් නිසා ඇතැම් නිලධාරීන් එයට විරුද්ධ බව ද කීවේය.
විගණන සේවා කොමිෂන් සභාව සම්බන්ධ යම් ගැටලූ තිබෙන බව කී විගණකාධිපතිවරයා මේ වන විට එයට තිබෙන්නේ අඩු රාජකාරී ප්‍රමාණයක් බැවින් විශාල මුදලක් වැය කර කාර්ය සාධනයක් නොමැති ආයතන පවත්වාගෙන යාමේ තේරුමක් නැතැයි ද කීවේය. එය ගැන ඉදිරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකදී නැවත සිතා බැලිය යුතු බව තමන් යෝජනා කරන බව ද ගාමිණී විජේසිංහ මහතා සඳහන් කළේය.
තමාගේ විශ්‍රාම ලබන කාලය එළඹී ඇතැයි ද කී විගණකාධිපතිවරයා ඒ වෙනුවට නව විගණකාධිපතිවරයෙක් කඩිනමින් පත්කර එවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් එවිට තමා අතරමග නවත්වා ඇති කටයුතු ගැන ඔහු දැනුවත් කර විශ්‍රාම යා හැකි බවත් කියා සිටියේය.