ජනපති සිරිසේනයි මහින්දයි මිතුරු වුණාට ගමේ ඉන්න පොහොට්ටුවයි අතයි නයයි මුගටියයි වගේ – නිමල් සිරිපාල ද සිල්වා
ජනාධිපති සිරිසේන විසින් මහින්ද රාජපක්ෂ අගමැති ධූරය ලබා දීමට ගත් තීරණය සම්බන්ධයෙන් එම මොහොත වන තුරු දැන නොසිටි බව හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. ජනාධිපතිවරයා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර සමීප බවක් තිබී ඇතත් එය ගමේ සිටින පොහොට්ටු සාමාජිකයින් සහ ශ්‍රීලනිප සාමාජිකයින් අතර අදටත් ඇත්තේ නයි මුගටි වෛරයක් බවයි හිටපු අමාත්‍යවරයා ප්‍රකශ කළේ.
නිමල් සිරිපාල ද සිල්වා බදුල්ල ප්‍රදේශයේ ඊයේ (30) පැවති උත්සවයකදී අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
“අන්තිමේදී රනිල් වික්‍රමසිංහ මහත්තව ඉවත් කරලා පැය භාගෙන් අගමැතිකම මහින්ද මහත්තයට දුන්නා. හැබැයි ඉතින් ගමේ ඉන්න පොහොට්ටුකාරයොත් එක්ක ඒ ලව් එක නැහැ. ගමේ ඉන්න පොහොට්ටුකාරයොයි, ශ්‍රී ලංකා කාරයොයි තාමත් නයි මුගටි වෛරේ වගේ. මටත් පක්ෂෙන් වෙච්ච අඩුපාඩු නිසා තමුන්නාන්සේලාගේ හදවතේ යම් යම් අදහස් කැකෑරෙමින් තියෙනවා. නමුත් එකිනෙකා මඩගහගෙන එහි වාසිය එක්සත් ජාතික පක්ෂයට ලබා දීමට ක්‍රියා කරන්නේ නැතිව තිරසාර වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙන්න ඕනේ. එහෙම තිරසාර වැඩපිළිවෙලක් තවම ආරම්භ වෙලා නැහැ.”
මේ අතර එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා පරාජය කළ හැකි ආකර්ශනීය පුද්ගලයෙකු අපේක්ෂකත්වයට පත්කළ යුතු බවයි. එමෙන්ම එම ජයග්‍රහණය වෙනුවෙන් සන්ධාන ගත විය යුතු අතර එසේ නොමැතිව ජයගත නොහැකි බවයි හෙතෙම පෙන්වාදුන්නේ.