ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනපතිට විරුද්ධව දෝෂාභියෝගයක් ගේනවානම් පාර්ලිමේන්තුවේ අපේ ඡන්ද හයම දෙනවා – ලාල්කාන්ත

ජවිපෙට අනුව දේශපාලන කුමන්ත්‍රණය පරාදයි. ඔබේ පක්ෂයේ ප්‍රමුඛතම කාර්ය භාර්යයද මේ ඉවර වුණේ?

දේශපාලනයේදී විටින් විට ප්‍රමුඛතාවන් වෙනස් වෙනවා. රටේ ජාතික වශයෙන් ප්‍රතිගාමී බලවේගයන් කුමන්ත්‍රණයන් හරහා බලය අල්ලා ගන්න හදපු එක පරාද කිරීම ඒ මොහොතේ ප්‍රධාන එක. කුමන්ත්‍රණය පරාද වුවත් කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමේ ව්‍යාපාරයත් අනිවාර්යයෙන්ම ඉදිරියේ ක්‍රියා කළ යුතුයි.

හිතනවාද ඒ කියන කුමන්ත්‍රණකරුවන්ට නීතිය ක්‍රියාත්මක වෙයි කියලා?

රනිල් වික්‍රමසිංහයි, මෛත්‍රිපාල සිරිසේනයි, මහින්ද රාජපක්ෂයි එකිනෙකාගේ පැවැත්ම වෙනුවෙන් මෙතැනින් ඉදිරියට අනිවාර්යයෙන් වැඩ කරනවා. මීට කලිනුත් එහෙම වැඩ කරලා තිබෙනවා. එහෙම වැඩ කරන අතරම මේ එකිනෙකා තම තමන්ගේ බලය වැඩි වැඩියෙන් තහවුරු කරගන්න කටයුතු කිරීමකුත් කරනවා. එතකොට තමයි ඔය ගැටුම එන්නෙ.

මේ වෙලාවේ කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව දඬුවම් කිරීමේ සටන් පාඨය සහ වුවමනාව රනිල් වික්‍රමසිංහ පැහැදිලිවම අත්හරිනවා. ඒ ගැන කිසිම සැකයක් නෑ.

ඔක්තෝබර් 26දා සිදුවූ ආණ්ඩු පෙරළියට මාස 2යි. මොකක්ද රටට වෙන්නේ?

මේ රට කාලයක් තිස්සෙ යායුතු නිවැරැදි මාවතේ නෙවෙයි ගමන් කරමින් තිබෙන්නෙ. ආර්ථික වශයෙන් අගාධයට යමින් තිබෙනවා. සංස්කෘතික වශයෙනුත් එහෙමයි. සාමාජික වශයෙනුත් එහෙමයි. දේශපාලනික වශයෙනුත් එහෙමයි. ඒ අතර යූ.එන්.පී.ය විදියටත්, ශ්‍රී ලනිපය විදියටත් දෙකට බෙදිලා තම තමන්ගේ ධනය රැස් කිරීම වෙනුවෙන් බල ව්‍යාපෘතියක් තමයි මේ සිදුවන්නේ. ඒ පැත්තෙ අය මේ පැත්තට එනවා. මේ පැත්තෙ අය ඒ පැත්තට යනවා. මුලිනුත් එකඟතාවක් හදාගෙන දෙගොල්ල මාරුවෙන් මාරුවටත් එක විටත් මේ රට සුද්ද කරනවා.

කොහොම හරි කුමන්ත්‍රණය පරද්දන්න ගිහින් අන්තිමට විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකමත් නැති කරගත්තා නේද?

අපිට ඒක තීරණාත්මක එකක් නෙවෙයි. කුමන්ත්‍රණය ඉතා බරපතළයි. ඒ කුමන්ත්‍රණය සාර්ථක කළා නම් එහෙම මේ රටේ මුළු ජනතාවටම ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වෙනවා. පාර්ලිමේන්තුව ඇතුළෙ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකකම කියන එක අපිට මහලොකු දෙයක් නෙවෙයි.

හැබැයි ඔක්තෝබර් 26දා වූ සිද්ධිදාමය තුළ ඇතැම් අවස්ථාවල ජවිපෙ හැසිරීම ජනතා අප්‍රසාදයට ලක් වුණා. මෙය දේශපාලනිකව ඉතාමත් අවාසි සහගත වූ බව පිළිගත යුතුයි නේද?

අපි ඒක පිළිගන්නෙ නැහැ. ඒ අප්‍රසාදයට ලක්වෙලා තියෙන්නෙ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ බැළමෙහෙවරයන්ට. ඒ අයගේ අප්‍රසාදයටයි අපි ලක්වෙලා තියෙන්නෙ. එහෙම නැතිව සමස්තයක් ලෙස පොදු ජනතාව තුළ අප්‍රසාදයක් නැහැ. පොදු ජනතාව සලකන්නෙ ජවිපෙ මෙහිදී දැවැන්ත කාර්යභාරයක් කළා කියලා.

ඒ තුළින් අපට අලුත් බලවේග එකතු වෙලා තියෙනවා. අලුත් කණ්ඩායම් එකතු වෙලා තියෙනවා. අපේ දේශපාලන ඉදිරි ගමනට වාසි සහගත තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා.

කුමක් කිව්වත් ඇතැම් දේශපාලන විශ්ලේෂකයන්ගේ හා ජනතා මතය වී තිබෙන්නෙ 6ට තිබූ ජවිපෙ 2ට බහින තත්ත්වයකට වට්ටා ගත් බවයි. දේශපාලන ජීවිතයේ ජේ‍යෂ්ඨයෙක් ලෙස ඔබට මේ ගැන යම් මැන බැලීමක් තිබෙනවා නේද?

අපි දැන් කියන්නේ හයට තිබූ ජවිපෙ 20ට විතර ගිහින් තියෙනවා කියලා. ඔය දේශපාලන විශ්ලේෂකයෝ කියන අය නියෝජනය කළේ කුමන්ත්‍රණකරුවන්ගේ පිල. ඒ අයට ඕනෑ මතය තමයි ඒ ගොල්ලො හදන්නෙ. නමුත් ඒක මේ මහපොළවේ තියන යථාර්ථය නෙවේ. ඒගොල්ලන්ගේ කුමන්ත්‍රණ න්‍යාය පත්‍රය හරහා යන්න ගිය ගමන අංශක 180ක් අනෙක් පැත්තට හැරිලා තියෙන්නෙ. ඒ හින්දනේ පොහොට්ටුවට ගියපු අයට දැන් පොහොට්ටුවේ නෙවෙයි කියන්න වෙලා තියෙන්නෙ. ඒගොල්ලන්ගේ ගමන මුළුමනින්ම 1800ක්ම ඒගොල්ලන්ගේ න්‍යාය පත්‍රය අවුට්. අපේ න්‍යාය පත්‍රය අපි ඉදිරියට ගෙනිහින් තියෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මහ ඉහළින් පෙනී සිටියට ජවිපෙට එදා සිට මේ දක්වා ප්‍රමාණාත්මක ඡන්ද නොලැබෙන්න බලපාන කාරණය මොකක්ද?

ඡන්ද නොලැබෙන්න ප්‍රධාන හේතුව මේ ප්‍රධාන බලවේග දෙකම ජනතාවට එපා වෙලා තිබුණත් ඒක පරාද කිරීමට සමත් බලවේගයක් ලෙස මේ රටේ දේශපාලන ව්‍යාපාරයක් ගොඩනඟන්න අපි අසමත් වීම. ජවිපෙ සහ තවත් බලවේග එකතු කරන තවත් මොහොතක් එන්න ඕනෑ අර කණ්ඩායම් දෙක පරාජය කර බලය තහවුරු කරගන්න පුළුවන් කියන අදහස, හැඟීම යථාර්ථවාදීව කියන ආකාරයකට. අපිට තවම ඒක කරන්න බැරි වෙලා තියෙනවා.

ඇතැම් අවස්ථාවල ඔබේ පක්ෂයම ප්‍රකාශය කර තිබෙනවා ඉදිරියේදී වාමාංශික බලවේග ඒකරාශි කරගන්නට සූදානම් බව. ඔය කියන වාමාංශික බලවේග කවුද?

වාමාංශික බලවේග එකතු කරගන්නවා කියලා ජවිපෙ කියන්නේ නෑ. ඒ කියන්නේ වෙන වමේ කණ්ඩායම්. ජවිපෙ කියන්නේ අපිත් රටේ ප්‍රගතිශීලී ජනයාත් අනෙකුත් සාධාරණය, යුක්ති සහගත බව, සමානාත්මතාව, ජාතික සමඟිය වැනි අදහස් නියෝජනය කරන බලවේගයත් එකතු කිරීම.

මේ මොහොතේ ඔබ පක්ෂය වටා විශ්වවිද්‍යාල ආචාර්යවරු, කලාකරුවන්, උගතුන්, බුද්ධිමතුන් පිරිසක් ඒකරාශි කරගෙන තිබෙනවා. ජවිපෙ මේ කරන්නේ ඒ අය පාවිච්චි කිරීමක්ද?

ජවිපෙ සහ ඒ අය සම්බන්ධ වූ වැඩපිළිවෙළක් දැන් යන්නෙ. පාවිච්චි කරන වැඩපිළිවෙළක් නෙවේ. රටේ විද්වත් විවිධ දේශපාලන කුලකවලට ඕනෑකම තිබෙනවා රනිල්, මෛත්‍රි, මහින්ද ත්‍රිත්වයම පරාජය කරන්න සමත් දේශපාලන බලයක් ගොඩනඟන්න. ඒ වෙනුවෙන් මැදිහත් වීම, ඒ වෙනුවෙන් නායකත්වය දීම කවුරුත් කාටවත් කඩේ යෑම නෙවේ. වෙලාවකට අපි කඩේ යනවා. වෙලාවකට අනෙක් අය කඩේ යනවා. වෙලාවකට දෙගොල්ලම එකට කඩේ යනවා.

කඩේ යනවා කියලා ඔබ අදහස් කළේ මොකක්ද?

ඒ වැඩපිළිවෙළ වෙනුවෙන්.

කුමන්ත්‍රණය පරාජය කෙසේ වුවත් ජනතා විමුක්ති පෙරමුණ එක්සත් ජාතික පක්ෂයේ වලිගය බවට ගොඩනැඟුණු මතය නම් තව තවත් තහවුරු වී තිබෙනවා නේද?

මේ සිද්ධියත් එක්ක වඩාත් හොඳින් එය එහෙම නොවෙයි කියලා තහවුරු වෙලා තිබෙනවා.

ඔබ කොහොමද එහෙම කියන්නේ?

ඒ ඒ තැන්වලදී අපි ගත්ත ක්‍රියාමාර්ග දිහා බැලුවම ජවිපෙ අරගල කර තිබෙන්නෙ පැහැදිලිවම මේ රටේ පොදු ජනයාගේ ඕනෑ එපාකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කියන එක ඉතා පැහැදිලියි. අපි නියෝජනය කරන සමාජ බලවේගය ඇතුළෙ, මෙතැන තියෙන්නෙ සතුරු බලවේග අතර සටනක්. අපේ සතුරු බලවේග අපි ජයක් ලැබුවා කියලා හරි, අපි ස්වාධීනයි කියලා හරි, අපි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නවයි කියලා හරි කියන්නෙ නෑ. ඒගොල්ලන්ට කියාගන්නම ඕනෑ අපි යූඑන්පීයත් එක්ක වැඩ කරනවා කියලා. ඒක ඒගොල්ලනගෙ වුවමනාව. ඒ වුවමනාව ගැන අපි කිසි බයක් සැකයකුත් නෑ. ඒගොල්ලො ඒක කියන එක හොඳයි.

නමුත් මේ දින 50 තුළ පැවැති කාරණාව අතරතුරත් රනිල් වික්‍රමසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණත් අප සමඟයි කියලා ප්‍රසිද්ධ වේදිකාවේ කිව්වා. ඒක පක්ෂයකට අවාසි නොවෙන්නෙ කොහොමද?

නෑ, අපිට කිසිම අවාසියක් නැහැ. ඒක අපිට වාසියි.

මොකක්ද ඉන් ලැබෙන වාසිය?

වාසිය එජාපය බලයට ගේන්න කටයුතු කරපු එජාප පාක්ෂික නොවන ජනතාව රාජපක්ෂලාට විරුද්ධ ජනතාව. ඒ ජනතාවට ජවිපෙ මේ කළ කාර්යභාරය ගැන ලොකු ඇගයීමක් තිබෙනවා. ඒ ඇගයීමට අපිට වටිනාකමක් එනවා. අපි යූඑන්පියත් එක්ක ඉන්නවයි කියලා රාජපක්ෂ කඳවුර අපිට එල්ල කරන පහරක්. මම නම් කියන්නෙ ඒක තවදුරටත් කියන්න කියලා ඒ අයට. ඒ කියන එක අපි නියෝජනය කරන බලවේගය තුළ අපිට දේශපාලන වශයෙන් හොඳයි.

එතකොට අගමැතිකම අහිමි වූ රනිල් වික්‍රමසිංහ නැවත අගමැති පුටුවේ වාඩි කරවන්න ඔබේ පක්ෂයට පොඩි හරි කැක්කුමක් තිබ්බෙම නැද්ද?

දේශපාලනයෙ යථාර්ථයක් තියෙනවා. ඒ යථාර්ථය අමතක කරලා බොරු තර්ක ගොඩනඟලා වැඩක් නෑ. කුමන්ත්‍රණය පරදිනකොට අනෙක් පැත්තෙ බහුතර බලවේගය තුළින් තෝරන්නෙ රනිල්ව නම් රනිල් අගමැති වෙනවා එතකොට. ඒක කාටවත් නවත්වන්න බෑ. ඒක දැන් මෛත්‍රිපාල සිරිසේනටවත් බෑනේ නවත්තන්න, මහින්ද රාජපක්ෂටත් බෑනේ නවත්තන්න. ඉතින් අපි කොහොමද නවත්වන්නේ?

මාධ්‍යත්, ජනතාවත් ඔබේ පක්ෂයෙන් විමසන ප්‍රශ්නවලට ඉතා හොඳ විශ්ලේෂණයක් ජවිපෙ ලබා දෙනවා. ඒ ගැන තර්කයක් නැහැ. හැබැයි විශ්ලේෂණය කර කර සිටීම පමණක් ප්‍රායෝගික නොවන බව ඔබ පිළිගන්නවාද?

හොඳටම ප්‍රායෝගික වී තිබෙනවා. අපි මේ මොහොතේ ගත්ත තීරණය අධිකරණයත් අනුමත කර තිබෙනවා. අපි ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටිය දේවලුත් අධිකරණය විසින් අනුමත කර තිබෙනවා. ඒ නිසා අපි ඉතා නිවැරැදිව විග්‍රහ කරගෙන නිවැරැදිම ස්ථාවරයෙ පෙනී සිටි බව කුමන්ත්‍රණකරුවන්ට තමන්ගේ න්‍යාය පත්‍රය වෙනස් කිරීමට සිදුවීම තුළම තහවුරු වී තිබෙනවා.

20 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත කතාබහට ලක් වී තිබෙනවා. 20 රනිල් වික්‍රමසිංහගේ කොන්ත්‍රාත්තුවක් බවට ප්‍රබල සමාජ මතයක් ගොඩනැඟුණා. ජවිපෙ ඉදිරිපත් කළ 20 සංශෝධනය සම්මත වුවහොත් රනිල් වික්‍රමසිංහ මහතාට තවත් තටු ලැබීමක් නේද සිදුවන්නේ?

සමාජය තුළ එහෙම තහවුරු වී නැහැ. සමාජය තුළ එහෙම තහවුරු කරන්න රාජපක්ෂ බලවේග උත්සාහ කරනවා. නමුත් සමාජයේ අති බහුතරයක් තුළ එහෙම තහවුරු වී නැහැ. රනිල්ට විධායක ජනපතිකම ඕනෑ. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා විධායක ජනපති ක්‍රමය ගෙනාවේ මේ නව ලිබරල්වාදී රට විකුණගෙන කන ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක කරගන්න ශක්තිමත් බලයක් ඕනෑ නිසා. රනිල්ටත් ඒ බලය ඕනෑ. ඒ නිසා රනිල් විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ තැන ඉන්න මිනිහෙක් නෙවෙයි. රනිල්ට ඊළඟ පාර විධායක ජනාධිපති වෙන්න පුළුවන් නම් රනිල් තරම් මේකට තව වෙන කැමැති වෙන කෙනකුත් නැහැ.

ඒ නිසා රනිල්ට ඒ අවස්ථාව නොදන්න නම් අනිවාර්යයෙන්ම විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න ඕනෑ.

ජවිපෙට අනුව රනිල් වික්‍රමසිංහ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ හොර මුරකරුවා. 20 සංශෝධනය සම්මත වී බැරිවෙලාවත් ඔහුම නැවත අගමැති වුවහොත් කොයි තරම් භයානක තත්ත්වයක් මතු වෙයිද?

බැරි වෙලාවත් රනිල්ට අගමැතිකම නොදී ඉන්න රටේ ජනතාව කටයුතු කළ යුතුයි. ජවිපෙ ඇතුළු රනිල් වික්‍රමසිංහ අගමැති වීම ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැළැක්වීම අපේක්ෂා කරන සියලු දෙනාගේ වගකීමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂය බලයට එන එක නවත්වන එක.

එජාපය බලයට පත්වීම නතර කළ යුත්තේ ජනතාව වුවත් විශේෂයෙන් මැතිවරණ වේදිකා තුළ ජවිපෙ ප්‍රකාශ, තර්ක එජාපයට වාසි සහගත බව ඔබට බැහැර කළ හැකිද?

ජනතාවට එවැනි චෝදනාවක් නැහැ. ඔය චෝදනා කරන්නෙ රාජපක්ෂවාදී කල්ලිය. එක කල්ලියකගෙ චෝදනාවක් ජනතාවගේ චෝදනාවක් කියලා මාධ්‍ය ආයතනයක් අර්ථ දැක්වීම වැරැදියි.

එසේ නම් රනිල් වික්‍රමසිංහ හෝ මහින්ද රාජපක්ෂ නැවත බලයට පැමිණීම වැළැක්වීමට නම් ජවිපෙට ඒ සම්බන්ධවත් යම් උපක්‍රම ඇති නේද?

අපිට ඊළඟ පාර්ලිමේන්තු ඡන්දෙදි තමයි රනිල් පරාජය කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ මැතිවරණයේදී මහින්දටත් අගමැතිකම නැතිවෙන ආකාරයකට, රනිල්ටත් අගමැතිකම නැතිවෙන ආකාරයකට වෙනම දේශපාලන ව්‍යාපාරයක් රටේ ක්‍රියාත්මක කරනවා. එහෙම තියෙද්දීත් මේ රටේ ජනතාව බහුතරයක් දීලා යූ.එන්.පී. එක බලයට ගේනවා නම් එක්කො මහින්ද රාජපක්ෂ බලයට ගේනවා නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. අපේ කාර්යභාරය ඒ දෙකටම විරුද්ධව කරනවා.

සමස්තයක් විදියට කරවෙච්ච රොටිය කර වූ පැත්තම නැවත තැටියට දැමීමක් වැනි දෙයක් නේද රටේ සිදුව තිබෙන්නේ?

එහෙම වුණේ නැහැ. මොකද එකක් මහින්ද රාජපක්ෂලාගේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පැරැදුණා. දෙක ඔක්තෝබර් 26ට පෙර තිබූ යූ.එන්.පී. එක දැන් නෑ. ඊට වඩා දුර්වල එකක් තියෙන්නෙ. රනිල් වික්‍රමසිංහට ඔක්තෝබර් 26දා වෙද්දී කරගෙන යමින් තිබූ ප්‍රතිගාමී වැඩ කටයුතු ප්‍රමාණය සහ අධිරාජ්‍යවාදයට රට පාවාදෙමින් යන වැඩසටහන ඒ විදියටම ක්‍රියාත්මක කරන්න බැරිව යනවා. එගොල්ලන්ගෙන් න්‍යාය පත්‍ර අවුල් වෙලා තියෙන්නෙ.

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සම්බන්ධ ප්‍රබල ගැටලුවක් මතුව තිබෙනවා. ආර්. සම්පන්දන් මහතා කියන්නෙ තවමත් විපක්ෂ නායක තමන් බව. සැබෑ විපක්ෂ නායක කවුද?

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් අයින් වෙලා ඉන්න නිසා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ නොවන බහුතරය තිබෙන්නෙ එක්සත් ජනතා නිදහස් සන්ධානයට නිසා එම සන්ධානයෙන් යෝජනා කරන කෙනකුට විපක්ෂ නායකකම දිය යුතුයි.

විපක්ෂ නායක ධුරය එක්සත් ජනතා නිදහස් සන්ධානයට හිමි විය යුතුයි කියන්නෙ පසුගිය දින 50 තුළ ජවිපෙ ගෑවුණු කුණු ටික හෝදාගන්නද?

අපි දිගටම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටින්නෙ. මේකෙදිත් ව්‍යවස්ථාව අනුව පෙනී ඉන්නකොට එක්සත් ජනතා නිදහස් සන්ධානයට විපක්ෂ නායක ධුරය දිය යුතුව තිබෙනවා. ඊට කලින් ඒක දෙන්න බෑ. ඒගොල්ලො ආණ්ඩුවේ හිටියෙ. මෙතැන තියෙනවා පාර්ලිමේන්තු සම්ප්‍රදායක්. පාර්ලිමේන්තු ක්‍රමයක්. අපි දිගට කටයුතු කරලා තියෙන්නෙ ඒක ඇතුළෙ. එතකොට ඒ ව්‍යවස්ථාව රකින්න හිටපු බව අපි ගත් මේ තීරණවලිනුත් පේනවා. අපිට මේකෙ මඩක් නැහැ. අපි ඉතාම දියුණු තැනකට පත්වෙලා ඉන්නෙ. මේකෙ මඩක් කියලා ජවිපෙට පහර ගහන්නෙ මහින්දවාදී හොරිකඩයෝ ටිකනෙ.

තමන් විපක්ෂ නායක යැයි කියන දෙමළ සන්ධාන නායක සම්පන්දන් මහත්තයා දැන් මේ සිටින දේශපාලන ස්ථාවරය ජවිපෙ දකින්නෙ කොහොමද?

කරන්න තියෙන්නෙ එක දෙයයි. කථානායක තවම ඒ ගැන දැනුම් දීලා නැහැ කියනවා නම් කථානායකට තියෙන්නෙ ඒ ගැන දැනුම් දෙන්න.

පත්වූ ආණ්ඩුවට සැබෑ බහුතරය තියෙනවද?

ආණ්ඩුවකට පාර්ලිමේන්තුවේ තමන් ගේන පනත් සම්මත කරගැනීමේ හැකියාව තිබිය යුතුයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේවත් කොහේවත් දීලා තියෙන අර්ථ දැක්වීම්වලින් ඇඟවෙන්නෙ මුදල් සම්බන්ධව හෝ වෙනත් අණපනත් යම්කිසි කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගේනවා නම් ආණ්ඩුවකට ඒවා පාර්ලිමේන්තුව තුළම සම්මත කරගන්න හැකි විය යුතුයි.

මේ තත්ත්වයත් එක්ක නීති, අණපනත් පවතින පාර්ලිමේන්තුව තුළ පහසුවෙන් සම්මත කරගනු හැකි වෙයිද?

ගේන අණපනත් අනුව ඒවා තීරණය වෙයි.

කුමන්ත්‍රණය පරාද කළ පමණින් මේ ආණ්ඩුව ජනතා ප්‍රශ්න විසඳන්න බැඳෙයි කියලා ජවිපෙට යම් අදහසක් තිබෙනවද?

රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තිය දේශපාලන ප්‍රතිපත්තිය මේ රටට කිසිසේත්ම ගැළපෙන්නෙ නැහැ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මෙතැනින් එහාට ආණ්ඩුව හරහා කරන කිසිම කටයුත්තක් මේ රටට සාර්ථක ප්‍රතිඵල ගේනවා කියලා අපි පිළිගන්නෙත් නැහැ.

ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ නිසා ඔහුට එරෙහිව ශේ‍ර්ෂ්ඨාධිකරණයට යා හැකි බව මන්ත්‍රි වෙල්ගම ප්‍රකාශ කළා. ජවිපෙ අදහස මොකක්ද?

අපි කියන්නේ ජනපති ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු බැවින් ඔහුට විරුද්ධව දෝෂාභියෝගයක් ගෙන ආ යුතුයි. නමුත් රනිල් වික්‍රමසිංහවත් මහින්ද රාජපක්‍ෂවත් ඊට එකඟ වෙන්නෙ නෑ.

ජනපතිට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන ආ හැක්කේ කොහොමද?

දෝෂාභියෝගයක් ගෙන ඒමට පාර්ලිමේන්තුවේ 1/3 බලයක් ඕනෑ. දෝෂාභියෝගයක් සම්මත කරන්න 2/3 බලයක් ඕනෑ. ඒ 1/3 වෙනුවෙනුත් ඒ 2/3 වෙනුවෙන් අපේ මන්ත්‍රිකම් හය අපි ලබා දෙනවා.

දේශපාලනයේ ඒ අත මේ අත ගැන හොඳ ඉවක් තිබෙන ලාල්කාන්තට මේ මොහොතේ කුමාර වෙල්ගම මන්ත්‍රිවරයා කරන ප්‍රකාශ අනුව හැඟෙන්නේ ඔහු සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සිටින කෙනෙක් හැටියටද නැතිනම් කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් දරන කෙනෙක් හැටියටද?

මේ ක්‍රියාවලිය ඇතුළෙදී ඔහු සාර්ථක කරන්න පුළුවන් මොකක් මතද කියන එකේ පිහිටලා තමයි හිටියෙ. මහින්ද රාජපක්‍ෂ මහතා විනාශ කළේ මහින්ද වටේ හිටපු නඩය. වෙල්ගම එක්තරා ආකාරයකට ඒ වළේ මහින්ද මහත්තයා වැටෙන්න ඕනෙ නෑ කියන ස්ථාවරයේ ඉඳන් කටයුතු කළ කෙනෙක්. ඒක ඔහුගෙ ස්වාධීන මතයද, ඔහුව කවුරු හරි හසුරුවනවාද කියන එක පිළිබඳ නිශ්චිත අදහසක් මා සතුව නෑ.

පවතින තත්ත්වය තුළ මුලින්ම යා යුත්තේ මහ මැතිවරණයකටද? ජනාධිපතිවරණයකටද?

ඉස්සර වෙලාම යන්න ඕනෙ පාර්ලිමේන්තුවට පනතක් ගෙනැල්ලා කුමන්ත්‍රණකරුවන්ට දඬුවම් කරන්න අදාළ කොමිසම පත් කිරීම. ඊට පස්සේ විධායක ජනපති ක්‍රමය අහෝසි කරන වැඩසටහන සාර්ථක කර පාර්ලිමේන්තු මැතිවරණයට යන්න ඕනෑ. ඒ යා යුත්තේ 2/3 න් විසුරුවලා.

ඡන්දවලට අපි බය නැහැ කියන ජවිපෙ ඡන්දයක් එන්න කිට්ටු වුණාම ඇයි කලබල වෙන්නේ? ඡන්දවලට ජවිපෙ බයයිද?

යහපාලන පරිවර්තනයේදී එකක් තමයි මේ රටේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕන කියන එක. ඔය මුළු පාර්ලිමේන්තුවම එකඟ වුණා පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයකට ගේන්න. ඒවා කරගනිද්දී පමා වුණා නම් ඒක අපේ ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, ඒකට සම්බන්ධ වෙච්ච සියලුම දෙනාගේ ප්‍රශ්නයක්. දැන් පළාත් සභා ඡන්දය ගේන්න ඕනෑ නම් ආයේ පරණ ක්‍රමයටම පළාත් සභා ඡන්දය ගේන්න ඕනෑ කියලා සම්මත කරන්න කියලා. එතකම් පළාත් සභා ඡන්දයක් ගේන්න බෑ ඉල්ලුවට. ඒක කරගෙන තියෙන්නේ පාර්ලිමේන්තුව විසින්මයි.

එහෙම නැතිව ළඟ එන මහ මැතිවරණයට ජවිපෙ බයක් ඇත්තෙම නැද්ද?

(මහ හ¾ඩින් සිනා)

මේ වන විට සමාජයේ මතයක් පැතිරී තිබෙනවා ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණෙන් බැහැර ප්‍රකාශ කරන්නෙක් බවට පත් වෙලා කියලා?

එහෙම කියාගන්න ආසා කට්ටියක් ඉන්නවා. ආසාවට ඒවා කිව්වට මම එහෙම කරලා නෑ.

ඔබ එක් වේදිකාවක ඔබේ භාෂාවෙන්ම කිව්වා ජවිපෙ ඉන්නේ හිඟන්නු නෙමෙයි කියලා. මේ ප්‍රකාශය ඔබේ පක්‍ෂයේ පහළ සාමාජිකයන්ගේ හිත් වේදනාවට කාරණයක් නෙවෙයිද?

ජවිපෙ වටා පෙළ ගැහිලා ඉන්නෙ හිඟන්නු නෙවෙයි වැඩ කරන ජනතාව. හිඟන්නු කියන්නේ පාරේ එතන මෙතන අත පාගෙන ඉන්න අයට. ඒ අයගේ ජොබ් එක. අතන මෙතැන අත පාගෙන ඉන්නේ වැඩ කරන ජනතාව නෙමෙයි. අපි වැඩ කරන ජනතාව මූලික කරගත් පක්‍ෂයක්. වැඩ කරන ජනතාව හිඟන්නු නෙවෙයි.

ඒ වගේම පසුගිය දිනවල ප්‍රබල මාතෘකාවක් බවට පත්වුණා ලාල්කාන්තගේ ළමයින්ට පෞද්ගලික සරසවි අධ්‍යාපනය හදාරන්න ඉඩ දෙන්න ලාල්කාන්තට කොහෙන්ද සල්ලි කියලා. මෙය ඔබට එක්තරා ප්‍රහාරයක් නේද?

ලාල්කාන්තට සල්ලි කොහෙන්ද කියලා කවුරු හරි අහනවා නම් ඒ අහන කෙනා එහෙම අහන්නෙ මට සල්ලි කීයක් හරි දෙන්නද කියලයි මට දැනගන්න ඕනෙ. එහෙම අදහසකින් අහනවා නම් අනේ වහාම මැදිහත් වෙලා මං ගිණුමේ අංකයක් දෙන්නම් ඒකට දාන්න.

ජවිපෙ ඉදිරි සැලසුම් මොනවද?

කුමන්ත්‍රණකරුවන් සමඟ හෝ රනිල් වික්‍රමසිංහ සමඟ ජවිපෙ කිසිදු සම්බන්ධයක් පවත්වන්නේ නෑ. අපි ඔය තුන් කට්ටුවටම විරුද්ධව දැවැන්ත ජාතික ව්‍යාපාරයක් ගොඩනඟනවා. ඉන්පසු ජනතාවට විශ්වාසය තැබිය හැකි බලවේගයක් හදනවා.

සංවාදය – අනුරාධා හේරත් (මව්බිම)