ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

ව්‍යවස්ථාව කැඩූ සිරිසේන ඉල්ලා අස්විය යුතුයි – කුමාර වෙල්ගමගෙන් ජනපතිට මල්ටි බැරල් ප්‍රහාරයක්.

ජනාධිපති සිරිසේන වහාම සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති සහ කලුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසයි.
ශ්‍රේෂ්ඨාධීකරණ තීන්දුව අනුව ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව හොඳින්ම පැහැදිලි බවත් ඒ අනුව ඔහුට සිය ධුරය දැරීමට කිසිදු අයිතියක් නැති බවත් වෙල්ගම මන්ත්‍රීවරයා සඳහන් කරයි.
දි අයිලන්ඩ් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් මන්ත්‍රීවරයා  කියා සිටින්නේ  ආඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන උල්ලංගනය කළ පුද්ගලයෙක් ලෙස රටේ විවිධ අර්බුද මතු කළ ජනාධිපතිවරයාව  ඕනෑම මොහොතක දෝෂාභියෝගයකට භාජනය කළ හැකි බවයි. සිරිසේන ජනාධිපතිවරයාට දැන් සිය ධුරයට සමුදීමට කාලය එළඹ ඇති බව පැවසූ වෙල්ගම මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ ජනාධීපතිවරයා සිය  ධුරයේ රැඳී සිටීමෙන් රටේ ජනාධිපති ධුරය ද අපකීර්තියට ලක් වන බවයි. එය ජාත්‍යන්තර වශයෙන් මෙරටට තිබෙන පිළිගැනීමටද බලපාන බව මන්ත්‍රීවරයා පවසයි.
ව්‍යවස්ථාව කළ කළ පුද්ගලයෙකුට රාජ්‍යයේ නායකයා ලෙස කටයුතු කිරීමට නීතිමය බලයක් නොමැති බැවින් රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන තම රාජකාරි නිසියාකාරව කරගෙන යෑමට නොහැකිව අර්බුදයකට යනු ඇති බවද කුමාර් වෙල්ගම මන්ත්‍රී වරයා කියයි.

ව්‍යවස්ථාව කැඩූ බවට තීන්දු වී සිටින සිරිසේන ජනාධිපතිවරයා රටේ ව්‍යවස්ථාවට ගරු කරමින් පසුපසට අඩියක් තැබීමට වේලාව පැමිණ ඇතැයි පවසන වෙල්ගම මන්ත්‍රීවරයා තව දුරටත් ඔහු ධූරයේ රැඳී සිටීමට උත්සාහ කිරීමෙන් තත්ත්වය වඩ වඩා නරක් වනු ඇතැයි ද අනතුරු අඟවයි.

“අනෙක් අතට මේ තත්ත්වය රටේ ජාත්‍යන්තර කටයුතු වලදී අවාසියට බලපානවා. පරිණත දේශපාලනඥයෙකු ලෙස මෙහි ප්‍රතිවිපාක ගැන ඔහුට අවබෝධයක් තිබිය යුතුයි. උපරිමාධිකරණ තීන්දුවකට ගරු නොකරන ජනාධිපතිවරයෙකු වෙනත් කිසිවකට ගරු කරුනු ඇතැයි කිසිවෙකුට විශ්වාස කළ නොහැකියි” කුමාර් වෙල්ගම වැඩි දුරටත් පවසයි.