ජනපති සිරිසේනගෙන් කොළ එළියක්..! ජනපති සහ එජාපෙ නායකයින් අතර අද සවස තවත් විශේෂ හමුවක්.
ජනාධිපති සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද(02) පස්වරුවේ නැවතත් පැවැත්වීමට නියමිතය. පසුගිය සිකුරාදා දෙපාර්ශවය අතර පැවති සාකච්ඡාවලදී එළඹී තීරණයකට අනුව අද(02) මෙම හමුව සිදුවන බව වාර්තා වෙයි.
පවතින දේශපාලන අර්බුදයට ස්ථීර විසඳුමක් ලබන බදාදා වන විට ජනාධිපතිවරයා විසින් ලබාදෙනු ඇති බව පසුගිය සාකච්ඡාවට එක්වූ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන් ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතික පක්ෂය ද සඳහන් කළේ සාකච්ඡා සාර්ථකව පැවති බවයි.
නියමිත පරිදි ඉලෙක්ට්‍රොනික ඡන්ද විමසීමක් සහිතව පාර්ලිමේන්තුවේ දී විශ්වාසභංග යෝජනාවක් සම්මත වුවහොත් තමා එය පිළිගන්නා බව ජනාධිපතිවරයාද මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර තිබේ. කෙසේවුව ද රනිල් වික්‍රමසිංහ මහතාට යළි අග්‍රාමාත්‍යධූරය ලබානොදිමේ ස්ථාවරයේ ජනාධිපතිවරයා තවදුරටත් රැදී සිටින බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ ලබන 05 වැනිදා පාර්ලිමේන්තුව රැස්වීමේදී ඕනෑම ආකාරයකින් විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට තම පක්ෂය සූදානම් බවයි. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ බහුතර කැමැත්ත සහිත මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය යන්න එක්සත් ජාතික පෙරමුණේ සියලු කණ්ඩායම්වල ස්ථාවරය බවද ඔවුන් කියයි.
මේ අතර එක්සත් ජාතික පක්ෂ අග්‍රාමාත්‍යවරයෙකුට සහය පල කරන බවට දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත කළ දැනුම්දීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ සභාපති කබීර් හෂීම් මහතා විසින් දෙමළ ජාතික සන්ධාන නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යොමුකර තිබේ. ජනාධිපතිවරයාට ද පිටපතක් සහිතව යොමුකර ඇති අදාළ ලිපියෙන් දක්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඒකමතිකව නම් කර ඇති බවයි.