‘මහින්ද මාව ඝාතනය කරන්න හිටියේ නෑ..! අඩි 6ක් පොළොවට බස්සවන්න හිටියා යැයි කීවේ විහිළුවට’ – මෛත්‍රී
2015 ජනවාරි 8 රාත්‍රී තමා සහ පවුලේ සාමාජිකයින් කුරුණෑගල පොල් වත්තක සැලවී සිටි බවත් ජනාධිපතිවරණයෙන් පසු හිටපු මහින්ද රාජපක්ෂ ජයග්‍රහනය කලානම් තමන් ඇතුළු පවුලේ අය පොළොවෙන් අඩි 6ක් පහළට බස්සවන්න හිටියා යැයි තමා කල ප්‍රකාශය එතරම් බරපතල නැති බවත් එය දේශපාලන වේදිකාවල කරන ලද ප්‍රකාශයක් බවත් ජනපති සිරිසේන මේ වනවිට ප්‍රකාශ කරයි. මව්බිම පුවත්පත සමග කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කරන ලදි.
එම සාකච්ඡාවේ අදාල කොටස පහතින්..
ඔබට අනුව 2015 ජනවාරි 8න් පසු පොළොවෙන් අඩි 6ක් පහළට බස්සවන්න හිටපු මහින්ද රාජපක්ෂ අද ඔබට කොහොමද විශ්වාසවන්ත වුණේ? ඔබේ මේ ප්‍රකාශය ජනතාවගේ ඔළුවලට තදින්ම කාවැදුණා?
ඒවා ඉතින් දේශපාලන වේදිකාවල කියපු දේවල්නේ. මේක මේ පැහැදිලිවම අහුවෙච්ච කුමන්ත්‍රණයක්නේ.
මහින්ද රාජපක්ෂත්, රනිල් වික්‍රමසිංහත් දෙදෙනාටම ඔබව ඝාතනය කරන්න වුවමනාව තිබුණා නම් මේක හරියට ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක්නේ ජනාධිපතිතුමා?
මාව ඝාතනය කරන්න මේ අය සැලසුම් කළේ නෑ.
එවැනි සැලසුමක් නොතිබුණා යැයි ඔබ පැවැසුවත් 2015 ජනවාරි 8න් පසු ඔබ කළ ප්‍රකාශය ඉතා බරපතළයි?
ඒවා මැතිවරණ ව්‍යාපාර තුළ වෙන දේවල්.
හරි. එහෙනම් මම ඔබෙන් මෙවැනි ප්‍රශ්නයක් අහනවා. 2015 මහින්ද රාජපක්ෂට පක්ෂව ලක්ෂ 57යි. ඔබට පක්ෂව ලක්ෂ 62යි. ඒ අනුව ඔබට ලක්ෂ 57ක් විරුද්ධ වෙද්දී ලක්ෂ 62ක් මහින්දට විරුද්ධ වුණා.අද රාජපක්ෂ සිරිසේන එකට හිඳීම අර ජන වරමට කළ පයින් ගැසීමක්. මේ සදාචාරාත්මක ප්‍රශ්නය ඔබට දැනෙනවාද?
ඒ ජනවරම පෙබරවාරි 10දා ඉවර කළානේ. පළාත් පාලන ඡන්දෙදි රටේ ජනතාව එය පෙන්නුවා.
ඒ කියන්නේ රාජපක්ෂ-සිරිසේන දැන් පෑහෙනවාද?
ඒක තීන්දු වෙන්නෙ අනාගතයේ. වැඩ කරගෙන යෑම තුළ. කසාදයක් බැන්දත් ඕක දවසින් දෙකෙන් කියන්න බැහැනේ. කාලයක් යද්දී තමයි බබාලා හම්බ වෙලා පිළිවෙළක් වෙන්නේ.
සංවාදය – අනුරාධා හේරත්