ප්‍රධාන පක්ෂ දෙකම මතක තියාගන්න ඕන මේ රට මහජනතාවගේ මිසක් ඒ ගොල්ලන්ගෙ නෙවෙයි – ආචාර්ය චරිත හේරත්
“එජාපය මෙන්ම පොදුජන පෙරමුණ හා ශ්‍රිලනිපය මතක තියා ගන්න ඕන මේ රට ඒ ගොල්ලන්ගෙ නෙවෙයි. මේ රට අයිති රටේ මහජනතාවට. ඒ ගොල්ලො භාරකාරයෝ විතරයි.” යැයි වර්තමාන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ආචාර්ය චරිත හේරත් මහතා මව්බිම පුවත්පත සමඟ කරන ලද සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත.
එම සාකච්ඡාව පහතින් පලවේ…
ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසයේ මින් පෙර අත්නොවිඳි තීරණාත්මක සන්ධිස්ථානයක නතර වී තිබෙනවා. කුමක්ද ඔබේ අදහස?
ලංකාව මේ මොහොතේ අත් දකිමින් සිටින්නේ අද ඊයේ ඇති වූ ක්‍ෂණික තත්ත්වයක් නෙවෙයි. මා හිතන්නේ 2015 ජනවාරි 8 සිදුවූ දේශපාලන වෙනස ඇතුළෙම තිබුණ ඊට එරෙහි ප්‍රවණතාවක්.
මේක හේගලියානු තර්කයෙන් පැහැදිලි කළොත් එහි නිශේධනයත් ක්‍රියාවලිය තුළම තිබුණා. 2015 දේශපාලන ක්‍රියාවලියට ශ්‍රී ලනිප ලේකම්වරයාත් එජාප නායකයාත් එකතු කිරීමම එහෙම පෑහෙන කාරණයක් නොවන බව පෙනුණා. එදා මහින්ද රාජපක්ෂ පාලනයට එරෙහිව මතු කළ අලංකාරික දේශපාලනය (හිටොරික්ස් පොලිටික්ස්) (ඩ්ඥබධපඪජ ර්ථීධතඪබඪජඵ) ප්‍රබල වූ නිසා අර නිශේධනාත්මක ප්‍රති ජනනාත්මක අර්බුදය ඒ කියන්නේ යූ.ඇන්.පී.ය හා ශ්‍රී ලනිපය එකතු වෙලා යන මේ හවුල තුළ තියෙන ස්වයං විසංවාදී තත්ත්වයන් එළියට ආවේ නැහැ. ඒ නිසා ඉතාම හොඳ චිත්‍රයක් තාවකාලිකව නිර්මාණය වුණා.
මගේ විශ්වාසයේ හැටියට එජාපයට ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොකු බණ දේශනා කරන්න බැහැ. වැඩියෙන්ම ප්‍රජාතන්ත්‍රවාදයට හානි කළ දේශපාලන ධාරාවේ ඔවුන් ඉන්නෙ. යහපාලනයට විරුද්ධව වැඩියෙන්ම වැඩ කරපු කණ්ඩායමටයි ඔවුන් වැටෙන්නේ. වැඩියෙන්ම ලංකාවේ සංස්කෘතියට, සත්‍යත්වයට එරෙහි වූ දේශපාලන පක්ෂයත් ඔවුන්මයි. යුද්ධය පරාජය කරන්න අඩුවෙන්ම කැප වුණෙත් එජාපයයි. ඔවුන් කොහොමද එක පාරටම යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ.
ඒක ඇත්ත. නමුත් ඒ ප්‍රශ්නය 2015 මතු වුණේ නැහැ. මහින්ද රාජපක්ෂ පාලනය ඒ වන විට යහපාලනයෙන් බරපතළ අන්දමින් පිට පැනලා හිටපු නිසා නේද එහෙම වුණේ?
මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී චිත්‍රයෙන් එජාපයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය මැකී ගියා. ආවරණය වුණා. නමුත් එදත් අපි ඒ තුළ තිබුණු විසංවාදය දැක්කා. ඒ විසංවාදය තමයි මේ පුපුරා ගොස් තිබෙන්නේ.
2015 වෙනස ඉල්ලා සිටි බලවේගය මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් ඇති කළ එකක් නෙවෙයි. ඔහු අවසන් අදියරේ ඊට උඩින් මස්තකප්‍රාප්ත වූ අයෙක් නේද?
එතුමා පැවැති රජය සමඟ ඇති වූ ප්‍රශ්න නිසා අනෙක් පැත්තට ගියා තමයි. නමුත් ඒ ආගමනය නිසා තමයි අනෙකුත් පාර්ශ්වයන්ට විශ්වාසය ගොඩනැඟුණේ.
2015දී ආණ්ඩු මාරුවකට විෂය මූල තත්ත්වයක් ලංකාවේ තිබුණේ නැති බවද ඔබ කියන්නේ?
2015 අගෝස්තු මහ මැතිවරණය බලන්න. ආණ්ඩු මාරුවකට විෂය මූලික තත්ත්වයක් තිබුණා නම් එජාපයට ජනතාව හොඳ ආණ්ඩු බලයක් දෙනවනෙ. එහෙම දුන්නෙ නැහැ. 105යි තිබුණේ. අර ජනාධිපතිවරණය තුළ තිබූ අලංකාර විසින් අභ්‍යන්තර විසංවාද සමහන් කළා, එළියෙ තිබූ ප්‍රතිවාදියාගේ ප්‍රශ්න ඉස්සරහට දාලා. මට කියන්න අවශ්‍ය වුණේ වර්තමාන අර්බුදය අර පරණ තත්ත්වයේම දිගුවක් බවයි.
ආණ්ඩුව පැත්තෙන් කියන්නේ මේ පියවර මේ මොහොතේ නොගත්තා නම් රටක් ඉතිරි නොවන බවයි. ලෝකයේ හමුදා ආණ්ඩු පිහිටුවන මිලිටරි ජුන්ටාවල පාලකයෝ කරන්නේත් මේ හා සමාන ප්‍රකාශ. ඇත්තටම එහෙම භයානක තත්ත්වයක් ලංකාවේ තිබුණාද?
ඒ ප්‍රශ්නයෙම වැරැද්දක් තියෙනවා. එහෙම ඡන්ද කල් දමන්න හමුදා ආණ්ඩු පත්වීම එකක්. ඡන්දය පවත්වන්න ජනපති – අගමැති දෙදෙනා උත්සාහ කිරීම තවත් එකක්. ඔබේ ප්‍රශ්නයත් වැදගත්. ඒ වගේම මේ පිළිතුරත් වැදගත්. හමුදා පාලනයකදී වෙන්නෙ ඡන්දය නවත්වා අවුරුදු දෙකක්, තුනක් රට පාලනය කරන්න ඉල්ලන එක. මේ කරන්නේ තියෙන පාලනය ජනතාවට තමන් පාලනය කරන නියෝජිතයන් පත් කර ගන්න ඉඩ දෙන්න කියල ජනපති අගමැති දෙන්නම කියා සිටීම.
ආණ්ඩු බලය අල්ලගෙන ඡන්දයට යන යෝජනාව ගේනවට වඩා ප්‍රජාතන්ත්‍රවාදියි නේද තිබුණු ආණ්ඩුවටම මහ මැතිවරණයකට යෑමේ යෝජනාව ඉදිරිපත් කළා නම්. එහෙම නම් 2/3ක යෝජනාවකින් ඡන්දයකට යන්න තිබුණා.
පාර්ලිමේන්තුවෙ 2/3ක් ඡන්දෙකට යන්න දෙන්නෙ නැහැ. මෙතැන තව ප්‍රශ්නයක් තියෙනවා. 2015 ජනමතයයි. 2018 පළාත් මැතිවරණයේ ජන මතයයි එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස්. එජාපයට එතැන බහුතරයක් නැහැ. දේශපාලන ගණන් හැදීමට අනුව 2018 ජනමතය 2015 ජනමතයට විරුද්ධයි. රටක අයිතිවාසිකම තියෙන්නේ ජනතාවට. පාර්ලිමේන්තුවට නෙවෙයි. ජනපති, අගමැති කියන කොට අපි ජනතාවගෙන් අහමු කියලා එය යුක්ති සහගතයි. දේශපාලන වශයෙන් නිවැරැදිම දේ ඒක. අහන් නැත්නම් තමා හමුදා පාලනයක ස්වරූපය ගන්නේ.
මෙතැන සිදුවීම් පෙළගැස්ම බලන්න. අගමැති දිවුරුම් දෙනවා. කැබිනට් ඇමැතිවරු පත්වෙනවා. සැසි වාරය කල් දමනවා. ආණ්ඩුව විසුරුවනවා. අලුත් ආණ්ඩුවක් හදාගෙන ඡන්දයට යනවා.
මෙතැන ප්‍රජාතන්ත්‍රවාදීත්වය සහ ව්‍යවස්ථාපිතභාවය කියන්නෙ වැදගත් වචන දෙකක්.
ඒක හරි. නමුත් අවංක විනිවිදභාවයක් මේ කටයුතුවල ජනතාව දකින්නෙ නැහැ. ඒක නේද ප්‍රශ්නය.
නැහැ. මම කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදය රටක පාවිච්චි කරන්න ඕන ව්‍යවස්ථාව ඇතුළෙ. ජනාධිපති ගත් එක තීරණයක්වත් කන්ස්ටිටියුෂනල් විරෝධී නැහැ. ව්‍යවස්ථා විරෝධී නැහැ. බටහිර රටවල් ඩිමොක්‍රසි සහ කන්ටිටියුෂනලිට් කියන දෙක දෙපැත්තට දානවා. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න තමයි ව්‍යවස්ථාව ඇවිත් තියෙන්නෙ. ව්‍යවස්ථානුකූල නැහැ කියලා ජනපති තීරණ අභියෝගයට ලක්වී නැහැ. එය විග්‍රහ වන්නේ තමන් දරන දේශපාලන මතයට අනුව.
කොහොම වුණත් ජනතාව අතරේ දිය වී යමින් සිටි එජාපය මේ වැඩෙන් ගොඩ ගියා
එජාපයට අලුතෙන් කවුරුවත් ඇවිත් නෑ. සියලු නායකයන් මරණයට පත් වී ශ්‍රී මා දිසානායක ඡන්දය ඉල්ලුවාමත් එජාපයට ලක්ෂ 35ක් ඡන්ද තිබුණා. ඒ ඡන්ද එජාපයට හැමදාම තිබුණා. එජාපය මේ ගමනත් ඒ ගොල්ලන්ගෙ ඡන්ද දමාගත්තා. ඒ තමයි එජාපයෙ හැටි. කටඋත්තර නැතිව හිටි එජාපයට පොඩි උත්තරයක් ලැබුණ කියලා ඔබ ඇහුවොත් ඒකට මම එකඟ වෙනවා. ඒක ඉස්සරහට යන්නෙ නැහැ.
මැතිවරණයක් කරා යෑමට ජනපති – අගමැති අනුගමනය කළ ක්‍රියා මාර්ගය සදාචාරාත්මක නැති බවටයි චෝදනාව එල්ල වෙන්නේ?
1989 ආණ්ඩුව ජවිපෙට පහර දුන්නා. ඒක සදාචාරාත්මක නැහැනෙ. එදා රන්ජන් විජේරත්න ඇමැති කිව්වේ ආණ්ඩුවට ප්‍රතිචාර දක්වපු විදිය සදාචාරාත්මක නොවූ නිසා අපිත් ඒ ආකාරයටම පිළිතුරු දුන්නා කියලයි. මෙතැන ගත් තීරණ ව්‍යවස්ථානුකූලද යන්න තවම අධිකරණයේ තීන්දුවට යටත්.
වාසුදේව නානායක්කාර ඇමැතිවරයා මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නේත් රන්ජන් විජේරත්න ඇමැතිට සමාන අන්දමින්. ඔහු කීවේ ව්‍යවස්ථාවේ වගන්තිවල එල්ලෙන්න එපා. අපි දේශපාලන වශයෙන් ගහලා ආණ්ඩුව ගත්තා. පුළුවන් නම් රිටර්න් එක දෙන්න කියලා.
ඒක මම දන්නෙ නැහැ. මම ව්‍යවස්ථා ගැන කතා කරන්න විශේෂඥයෙක් නෙවෙයි. නමුත් මම හිතන්නෙ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයාට විසුරුවන්න තියෙන බලය ඔය ආකාරයට ඉවත් කරපු එක 19 වැනි සංශෝධනයේ තියෙන ප්‍රශ්නයක්.
මේක අතිශය තීරණාත්මක මොහොතක්. රටේ ඉදිරි ගමනේ දිශානතිය කුමක් විය හැකිද?
එකක් 7 වැනිදා ශේර්ෂ්ඨාධිකරණ තීරණය විසිරුවීමට පක්ෂව ආවොත් රට ඡන්දයකට ගමන් කරනවා. තීරණය විසිරු වීමකට විරුද්ධව ආවොත් අලුත් තත්ත්වයන් ගණනාවක් ඇති වෙනවා. තවත් අවුරුද්දක් මේ පාර්ලිමේන්තුව ඉදිරියට යනවා කියන එක හිතන්නත් බැරි දෙයක්.
සමහරු අනතුරු අඟවනවා මේ දේශපාලන අර්බුදය අවසන් වන්නේ මහා විනාශයකින් කියා?
මම ඒක පිළිගන්නේ නැහැ. 1953, 1971, 1989 උතුරේ යුද්ධය මේවා ඒ නිශ්චිත පිරිස් අතර පමණයි වුණේ. රටේ ජනතාව ආයුධ ගත්තේ නැහැ. නමුත් මේ ප්‍රශ්නයට විසඳුමක් අවශ්‍යයි. මේ පාර්ලිමේන්තුව පරණයි. ඊට එරෙහි ජනමතයක් තියෙනවා. ජනපති සහ පාර්ලිමේන්තුව අතර විරසකයක් තියෙනවා. හතර වෙනුව ජනපතිට විශාල බලතල ව්‍යවස්ථාව ලබාදී තිබෙනවා.
විසඳුම කුමක්ද?
පක්ෂ දෙකම කල්පනා කරලා 2/3ක් දී පාර්ලිමේන්තුව විසුරුවා මහ මැතිවරණයකට යා යුතුයි. භාරකාර ආණ්ඩුව මොකක්ද කියන එක මට අදාළ නැහැ. ජනතාව බල කළොත් විනාඩි කිහිපයකින් ඒ යෝජනාව ගේන්න පුළුවන්. මේ පක්ෂ දෙකම මතක තියා ගන්න ඕන මේ රට ඒ ගොල්ලන්ගෙ නෙවෙයි. රටේ මහජනතාවගේ. ඒ ගොල්ලො භාරකාරයෝ විතරයි.
සමස්ත පාර්ලිමේන්තු ක්‍රමය ගැනම ජනතාව තුළ විශාල කලකිරීමක් ඇති වී තිබෙනවා
ඊළඟ මැතිවරණයකදී සෑම දිස්ත්‍රික්කයකම අවම වශයෙන් 20%ක්වත් වැදගත් බුද්ධිමත් ඵලදායක මිනිසුන්ට නාමයෝජනා දෙන්න ඕන. සෑම පක්ෂයක්ම ජාතික ලැයිස්තුවල වැදගත් බුද්ධිමතුන්ට ඉඩක් හදන්න ඕන. පැරදිච්ච කිසිම මන්ත්‍රි කෙනෙක් ජාතික ලැයිස්තුවෙන් ගන්න ඉඩ දෙන්න එපා.
ඔබ එහෙම කීවාට ප්‍රධාන පක්ෂ දෙකම හොරුන්ට, අපරාධකාරයන්ට නාම යෝජනා දෙනවා. ජනතාවට ඔවුන්ව පත්කර යවන්න සිදු වෙනවා?
පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය කියන්නෙ වෘත්තියක්. එහි වෘත්තීය භාවයක් තිබිය යුතුයි. ඔවුන්ගේ වෘත්තීය තමයි නීති ප්‍රතිපත්ති හැදීම. රටේ පොදු පහසුකම් හා මූල්‍ය කළමනාකරණය. ඒවටයි මිනිසුන් පත්කර යැවිය යුත්තේ. මේක දේශපාලන පක්ෂ තේරුම් නොගත්තොත් ඊළඟ මැතිවරණයේදී ජනතාව මේක අතට ගනීවි.
දක්ෂතාවයට දේශපාලනය කියන මාතෘකාවට අපි යායුතුමයි. 20%ක් වත් ප්‍රෙපෙෂනල් නියෝජිතයෝ ගේන්න බැරි පක්ෂවලට ප්‍රධාන රාජ්‍ය බලය දෙන්න එපා කියන තැනට ජනතාව එන්න ඕන. ඒ ප්‍රශ්නය හරියට ගෙනාවොත් පක්ෂවලට එයට හිස නමන්න වෙනවා.
සංවාදය – උදේනි සමන් කුමාර – මව්බිම