ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඉදිරි මැතිවරණවලදී විද්‍යුත් ඡන්ද ක‍්‍රමය හදුන්වාදෙනවා – මහින්ද දේශප‍්‍රිය

ඉදිරි මැතිවරණවලදී විද්‍යුත් ඡන්ද ක‍්‍රමය හදුන්වාදීමට බලාපොරොත්තු වෙනවා යැයි  මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවැසීය.
ඒ මහතා මේ බව පැවැසුවේ ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් ඊයේ (29) ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ ගාල්ල දිස්ත‍්‍රික් කාර්යාලය විසින් පවත්වන ලද කාටුන් හා චිත‍්‍ර තරගයේ ජයග‍්‍රාහික පාසල් සිසු සිසුවියන්ට ත්‍යාග හා සහතික පත‍්‍ර ප‍්‍රධානය කිරීම නිමිත්තෙන් ගාල්ල දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයකදීය.

දියුණු රටවල මෙන් ඉදිරියේ ලංකාවේද ඡන්ද මධ්‍යස්ථාන විද්‍යුත් ක‍්‍රමයට ඡන්දය භාවිත කළ හැකි ඡන්ද මධ්‍යස්ථාන බවට සැලසුම් කරන බවත් එයට අමතරව 2019 වසරේ සිට සෑම වසරකම ජනවාරි 31 ප‍්‍රචණ්ඩත්වය පිටු දැකීමේ දිනය ලෙස නම් කර සියලූ‍ පාසල්වල එම දිනය  සැමරීමට කටයුතු කරන බවත් පැවැසීය.

එහිදී එ් මහතා මෙසේ කීය.

අපට 1931 වසරේ සර්ව ජන ඡන්දබලය ලැබුණා. නවසිය තිස් ගණන්වලදී කාන්තාවන්ට ඡන්දය දීම වැළැක්වීමට ගම්වල ඒදඩු කැඩුවා. රා බීගත් මිනිසුන් නිරුවතින් පාරේ ඇවිද්දා. නවසිය හැටනවයේ ගම්සභා ඡන්දයකදී අපේක්ෂකයන් දෙදෙනාගෙන් දිනපු අයට පිහියෙන් ඇනල තිබුණා. නමුත් දෙදහස් පහෙන් පසුව ගෙවල් පුච්චන සංස්කෘතිය නැති වෙලා. අද රටේ තිබෙන තත්ත්වය පිළිබඳ බැලූ‍වම ප‍්‍රජාතන්ත‍්‍රවාදය දේශපාලනය සුළි සුළඟට අසුවෙලා කියල විවේනය කරනවා. නමුත් අද මේ චිත‍්‍ර ප‍්‍රදර්ශනය බැලූ‍වම දරුවන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තේරුම් අරගෙන තිබෙන බව පේනවා. ඡන්ද හිමියන්ගේ දිනය නිමිත්තෙන් පැවැත් වූ කාටුන් චිත‍්‍ර ප‍්‍රදර්ශනයේ චිත‍්‍රවල පෙන්වා තිබුණේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නමැති රෝගියාට ඡන්ද බලය නමැති සේලයින් දුන්නොත් නැගිට්ටවන්න පුළුවන් කියන එකයි.

මේ රටේ එක ගුරුවරයෙක් පමණක් සිටින පාසල් හතක් තිබෙනවා. විෂමතාවය තිබුණත් නිදහස් අධ්‍යාපනයේ ප‍්‍රජාතන්වාදය නැතැයි කියන්න බැහැ. පසුගිය දිනවල මාතර සහ බේරුවල ප‍්‍රදේශවල සිසුන් දෙදෙනෙක් අවසන් ගමන් ගියා. ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමට ක‍්‍රියාමාර්ග නොගැනීම නිසා මේ තත්ත්වයන් ඇතිවෙලා. එනිසා දෙදහස් දහනවය වසරේ සිට  ජනවාරි තිස්එක් වන දින ප‍්‍රචණ්ඩත්වය පිටු දැකීමේ දිනය ලෙස නම්කර පාසල්වල එය සැමරීමට  යෝජනා කර තිබෙනවා.