ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරියට යළිත් විවෘත වරෙන්තු

පසුගිය රජය සමයේ ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස යළිත් විවෘත වරෙන්තු නිකුත් කර තිබේ. ඒ, අදාළ නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් එක් ලක්ෂ තිස් දහසක මුදලක් සාවද්‍ය පරිහරණය කළ බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය (FCID) විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ චෝදනා ඉදිරිපත් කර තිබිණි.

2016 වසරේ නොවැම්බර් 17 වනදා ඔහුව කටුනායක ගුවන් තොටුපළේදී අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. එහිදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුනු ඔහුව පසුව ඇප මත නිදහස් කරන ලදී.

කෙසේවෙතත්, තම රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීම සඳහා මාස දෙකක කාලයකට යළි ඇමරිකාවට ගොස් පැමිණීමට 2017 වසරේදී අධිකරණයෙන් අවසර ලබාගෙන විදෙස්ගත වූ ජාලිය වික්‍රමසූරිය මේ දක්වා ම නැවත නොපැමිණ අධිකරණය මගහරිමින් සිටී.