සුනාමියෙන් ඉන්දුනීසියාවේ 384ක් මිය යයි
මධ්‍යම ඉන්දුනීසියාවේ සුලවෙසි දිවයිනට බලපෑ භූ කම්පනයෙන් සහ සුනාමි ආපදාවෙන් මියගිය සඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් තිබේ. එහිදී තුවාල ලැබූවන්ගෙන් රෝහල්ද පිරී ඉතිරී ගොස් ඇති බව වාර්තා වේ. රිච්ටර් මාපකයේ 7.5ක් වුණු භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සුලවෙසි දූපත් ආශ්‍රිත පාලු වෙත බලපා තිබේ.
එම භූ කම්පනයෙන් පසු එවැනිම ප්‍රබල පසු කම්පනයක් ද සිදු වූ බව සඳහන් වේ. ප්‍රබලම භූ කම්පනය සිදුව තිබෙන්නේ සෙලවෙසිහි ඩොන්ග්ගාලා නගරයේ සිට කිලෝමීටර 56ක් ඊශාන දෙසට වන්නට පිහිටි ස්ථානයක, කිලෝමීටර 10ක් ගැඹුරට පොළොව අභ්‍යන්තරයෙහි ය. ප්‍රබල භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ද ඇතිවුණු බව සඳහන් වේ. මුහුද රළ මීටර 3ක් පමණ ඉහළ ගිය බව එරට කාලගුණ බලධාරීහු සනාත කරති.
සුලවෙසි දූපතේ පාලූ ප්‍රදේශය වෙත මීටර් 3ක් පමණ උසින් යුතු උදම් රළ පැමිණ ඇති අතර, ජනතාව කෑමොර දෙමින් පළායන ආකාරය සහ මුස්ලිම් දේවස්ථාන ඇතුළු ගොඩනැගිලි කඩා වැටී ඇති ආකාරය දැක්වෙන දසුන් සමාජ මාධ්‍යවල හුවමාරු වේ.

මියගිය අයගෙන් බහුතරය, අපිකේන්ද්‍රයට ආසන්නයේ පිහිටි පාලු නගරයේ උත්සවයකට සහභාගි වෙමින් සිටි අය ය. අඩි 7 ක් තරම් උස සුනාමි රළට ඔවුන් ගොදුරු වු අතර, තවත් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිරවී සිටින බව විශ්වාස කෙරේ.
දූපතේ විදුලිය බිඳ වැටී තිබීම නිසා ගළවා ගැනීමේ කටයුතුවලට ද බාධා එල්ල වී තිබේ.

භූ කම්පනය සහ සුනාමි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ගොඩනැඟිලි, පාලම්, මහා මාර්ග ආදිය මුළුමනින්ම වාගේ බිඳ වැටී ඇත. සුනාමියෙන් විනාශයට පත් ගොඩනැඟිලි අතර ප්‍රදේශයේ ප්‍රධාන මුස්ලිම් දේවස්ථානය, කුඩා කුඩා අවන්හල් සහ නිවාස තිබේ. ප්‍රදේශයේ සන්නිවේදන සහ විදුලිබල පහසුකම් සහමුලින්ම ඇනහිට ඇත. විපතට පත් ජනයා සුන්බුන් අතර තවමත් රැඳී සිටිති. ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ඉන්දුනීසියාවේ ජාතික ආපදා ඒජන්සිය ප්‍රකාශ කර සිටී.

ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිත ප්‍රදේශයට පසුගිය අගෝස්තු මාසයේදී භූ කම්පන මාලාවක් බලපෑවේය. එයින් පුද්ගලයෝ 460කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූහ.

2004 වසරේදී ඇති වූ සුනාමියෙන් ඉන්දුනීසියාවේ පමණක් 120,000කට ආසන්න සංඛ්‍යාවක් මරුදුටු බව සඳහන් වේ. ගිනිමුදුව හෙවත් භූ ක්‍රියාකාරකම් අධික පෙදෙසක ඉන්දුනීසියාව පිහිටා ඇති බැවින් එරටට බලපාන භූ කම්පන සංඛ්‍යාව වැඩි බව භූ ගර්භ විශේෂඥයෝ පවසති.