කැබිනට් පත්‍රිකාවේ දෝෂය ‘යතුරු ලියනයේ දෝෂයක්‘ යැයි කියා ඇමති මුස්තාෆා නාගනී..!
අප විසින් ‘‘ඇමති ෆයිස් මුස්තාෆා නිසා කැබිනට් මණ්ඩලය කවටයන්ට අඳියි!” ලිපිය පළ කිරීමෙන් පැයකටත් අඩු කාලයකදී පළාත් පාලන හා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් දුලාර ගුණතිලක විසින්, කැබිනට් පත්‍රිකාවේ තිබූ එකී දෝෂය පිළිගනිමින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ එම කැබිනට් පත්‍රිකාවේ තිබුණේ ‘යතුරුලියන දෝෂයක්‘ බව අවධාරණය කරමින් සියලුම මාධ්‍ය ආයතන වෙත මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.
කෙසේ නමුත් මෙම දෝෂය සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහයේදී එම ලේකම්වරයා සියලු මාධ්‍ය ආයතන ප්‍රධානීන් ගොනාට ඇන්දවීමට තැත් කරන්නේ මෙසේ සඳහන් කරමිනි. ‘‘එම අමාත්‍යමණ්ඩල සටහනේ මාතෘකාව තුල 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 41(1) වගන්තියට අදාල ගැසට් නිවේදනය ලෙස පැහැදිලිව සටහන් වුවද එම පත්‍රිකාවේ අවසාන කොටසේ යතුරුලියන දෝෂ්‍යක් හේතුවෙන් 41(1) වෙනුවට 44(1) ලෙස සදහන්ව තිබුණි.“
මාධ්‍ය නිවේදනයේ තවදුරටත් සඳහන් කරන්නේ ‘‘ගරු අමාත්‍යතුමා විසින් 2018 ජූලි මස 24 වන දින පැවති කැබිනට් රැස්වීමේදී එම යතුරු ලියන දෝෂය නිවැරදි කර කැබිනට් මණ්ඩලයේ අවධානයට යොමු කර අමාත්‍යමණ්ඩල එකගතාවය ලබා ගන්නා ලදි.“ යනුවෙනි.
ලේකම් දුලාර ගුණතිලකගේ මාධ්‍ය නිවේදනය මේ අනුව සියලු මාධ්‍ය ප්‍රධානීන් නොමග යවන්නක් වේ. එයට හේතුව මෙකී දෝෂය කැබිනට් පත්‍රිකාවේ අවසන් භාගයේ පමණක් නොව, පළමු හා දෙවන පිටුවල ද ඇති බැවිනි. එනම්, 2 වන පිටුවේ 2 වන උප ශීර්ෂය වන Justification, 3 වන උප ශීර්ෂය- Legal Compliance සහ 4 වන උප ශීර්ෂය Recommendations යටතේ ද මෙම දෝෂයම දැකගත හැකි වන බැවිනි.
ඇමති ෆයිසර් මුස්තාෆා විසින් දෝෂ පිරුණු කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළා මදිවාට, දැන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යවා ඇති මෙම මාධ්‍ය නිවේදනය ද නොමග යවනසුලු කරුණු ඇතුළත්, විශාල ලෙස ගැටළු සහගත එකක් බවට පත්ව ඇත.
කෙසේ නමුත් ඇමති මුස්තාෆා විසින් ඉදිරිපත් කළ මේ විසුළු සහගත කැබිනට් පත්‍රිකාවේ 3. Legal Compliance හෙවත් නෛතික අනුකූලතාවය යටතේ දැක්වෙන්නේ ‘‘44(1) වගන්තිය යටතේ සාදනු ලබන සෑම රෙගුලාසියක්ම රජයේ ගැසට් පත්‍රයේ පළකිරීමට 41(2) වගන්තිය අනුව අමාත්‍යවරයා කටයුතු කළ යුතු බව සහ, 44(4) වගන්තිය මගින්, එය ගැසට් පත්‍රයේ පළ කර හැකි ඉක්මනින් පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු බව‘‘ ය.
මේ අනුව ඉහත ඡේදයේ සඳහන් ආකාරයට 44 අංකය වෙනුවට 41 යෙදුවද, 41(4) යනුවෙන් වගන්තියක් ක්‍රීඩා පනතේ නැත. එයට හේතුව, පනතේ 41 වගන්තිය 41(3)න් අවසන් වන නිසා ය.
මේ අතර මාධ්‍ය නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මෙම කැබිනට් පත්‍රිකාවේ තිබෙන දෝෂ සම්බන්ධයෙන් කැබිනට් අමාත්‍යවරුන් හට දැනුම් දුන් බවයි.
කෙසේ නමුත් එම කැබිනට් රැස්වීමේ සිටි, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සමීප අමාත්‍යවරයෙක් සිය නම හෙළි නොකිරීමේ පදනම මත ලංකා නිව්ස් වෙබ් සමග පැවසුවේ, ‘‘මේක තනිකරම බොරුවක්. ඇමති ෆයිසර් මුස්තාෆා කිසිම අවස්ථාවක කැබිනට් පත්‍රිකාවේ වැරදි තිබෙන බව කිව්වේ නැහැ. එහෙම වුණා නම් ඒක කැබිනට් මණ්ඩලයේ අනුමැතියට දාන්න කලින් ඒ වැරදි නිවැරදි කරන්න කියලා ඔහුට උපදෙස් දෙනවා“ යනුවෙනි.
මේ අනුව කැබිනට් අමාත්‍ය මණ්ඩලය කවටයන්ට ඇන්දීමෙන් නොනැවතී ජනාධිපති නීතීඥ, ඇමති මුස්තාෆා දැන් උත්සාහ ගනිමින් සිටින්නේ සිය ලේකම් දුලාර ගුණතිලක මගින් මාධ්‍ය නිවේදන නිකුත් කර, මාධ්‍ය හරහා මහජනතාව ද නොමග යවන්නට ය.
පෙර ලිපිය:
ඇමති ෆයිස් මුස්තාෆා නිසා කැබිනට් මණ්ඩලය කවටයන්ට අඳියි!

(ලංකා නිව්ස් වෙබ්)