ඥානසාර හිමිට පෙර භික්ෂුන් 15ක් ජම්පරය ඇදලා ඉන්නවා..! ඒවාට විරුද්ධ වුයේ නෑ – බන්ධනාගාර කොමසාරිස්
කාන්තාවකට අපහාස කිරීමේ වරදට සිරදඬුවම් නියම වූ ගලගොඩඅත්තේ ඥානසාර හිමිට බන්ධනාගාරය තුළදී එයට අදාළ ඇඳුම වන ජම්පරය ඇන්දවීම සම්බන්ධයෙන් මේ වන විට විවිධ පාර්ශ්යවයන් අදහස් දක්වමින් සිටී. නමුත් ගැටළුව වන්නේ ඥානසාර හිමිට පෙර භික්ෂුන් 15ක් පමණ විවිධ වැරදි සම්බන්දයෙන් සිරගතව ජම්පරය ඇද සිටින බව මෙම විරෝධය දක්වන පිරිස නොදැක සිටීමයි.
කෙසේ වෙතත් මෙරට නීතියට අනුව බන්ධනාගාරගත වන ඕනෑම පුද්ලයෙකු බන්ධනාගාර රැඳවියෙකි. ඒ අනුව ඔහු කුමන තරාතිරමේ පුද්ගලයෙකු වුවද බන්ධනාගාරය තුළ පවතින නීති රාමුවට යටත් විය යුතුය. ආගමික නායකයෙකු වූ පමණින් හෝ ධනවතෙකු වූ පමණින් හෝ බලවතෙකු වූ පමණින් හෝ එම නීති රාමුවෙන් බැහැරව විශේෂ වරප්‍රසාද ලැබීමට කිසිවෙකුටත් නොහැකිය.
බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කරන්නේ ඥානසාර හිමි හැර තවත් භික්ෂූන් 15 ක් පමණ විවිධ වැරදි සම්බන්ධයෙන් වැරදිකරුවන් වී මෙරට විවිධ සිර කඳවුරුවල දඬුවම් විඳින බවයි. ඒ සියලු දෙනා ජම්පරය හැඳ සිටින බවයි ඔහු අවධාරණය කරන්නේ. සිරගත වන පූජ්‍ය හෝ පූජක පකෂයේ කිසිදු සිරකරුවෙකුට විශේෂත්වයක් දක්වා කටයුතු නොකරන බවත්, සිරදඬුවම් නියම වන ඔවුන් ද බන්ධනාගාරය තුළ තවත් එක් සිරකරුවෙකු පමණක් වන බැවින් ඔවුන් ද බන්ධනාගාර නීති-රීතිවලට යටත්ව කටයුතු කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පවසයි.
පැවිදි හඬ ඇතුළු විවිධ ආගමික සහ ජාතිවාදී කණ්ඩායම් ඥානසාර හිමිගේ සිවුර ගලවා ජම්පරය ඇන්දවීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් පළකරමින් සිටින අතර එය බුදුදහම විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් ලෙස උලුප්පා පෙන්වීමට උත්සාහ කරමින් සිටී. අපට අසන්නට ඇත්තේ ඥානසාර හිමිගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් කෑ මොර දෙන ඔවුන් මේ වනවිට සිරදඬුවම් විඳින ඉහත කී භික්ෂූන් 15 දෙනාගේ සිවුර ගැලවීම සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නොදැක්වූයේ ඇයිද යන්නයි.