ඇලෝසියස්ගෙන් සල්ලි ගත් මැති ඇමතිවරුන්ගේ නාමලේඛණය පාර්ලිමේන්තුවට ?
බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ගේ නම් එළඹෙන සඳුදා හෝ අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වනු ඇතැයි වාර්තා වෙයි. බැඳුම්කර ගණුදෙනුවට සමබන්ධව අර්ජුන ඇලෝසියස්ගෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 දෙනෙක් මුදල් ලබාගෙන ඇති බවට හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා කළ ප්‍රකාශයෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් වන කතා බහ නැවත අලුත් වී තිබේ.
ඒ අනුව බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව නිදහස් කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීම සඳහා ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා විමසීමක් කර ඇත. ඊයේ (01) දිනයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු ඒ බව ප්‍රකාශ කළේය. නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ තොරතුරු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
බැඳුම්කර සිදුවීමේදී මුදල් ලබාගත් පුද්ගලයින් 118 කගේ නම් ඇතුළත් ලේඛනයක් පිළිබඳ තමා දැනුවත් නොමැති අතර බැඳුම්කර කොමිසමේ විමර්ශනයට අදාළ වාර්තාව තුළ නම් ලයිස්තු ගණනාවක් තිබෙන බව ලේකම්වරයා කියා සිටියේය. එම ලැයිස්තු කිසිවක් තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් දේශපාලඥයින්ට, සමාගම්වලට හෝ පුද්ගලයින්ට දුන් මුදල් සම්බන්ධයෙන් ලයිස්තුවක් නොමැති බවයි ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේ.
මෙම ගණුදෙනුව පිළිබඳව මේ වනවිටත් විවිධ අංශ මඟින් පරීක්ෂණ කටයුතු සිදුවෙමින් පවතින නිසා තමා මේ සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාගැනීම සඳහා නීතිපතිවරයාට සහ අල්ලස් හා දූෂණ විමර්ෂණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපි දෙකක් යොමු කළ බවත් එයට පිළිතුරු ලබා දෙමින් ඔවුන්ගෙන් ලිපි දෙකක් ලැබුණු බවත් ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.