‘අපිටත් බැට් කරන්න අවස්ථාවක් දීලා ඔයා දැන් යන්න’ – රන්ජන් අගමැති රනිල්ට කියයි.
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට එම පක්ෂයේ නායකත්වයෙන් ඉවත්වී වෙනත් අයෙකුට නායකත්වය ලබාදීමට දැන් කල් එළඹ ඇති බව සමාජ සවිබලගැන්වීම් සහ සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.
“මේ කිරි බෝතලේ ගත්තත් මේකට කල් ඉකුත්වීමේ දිනයක් තියෙනවා. මේකට විතරක් නෙමෙයි හැමදේකටම කල් ඉකුත්වීමේ දිනයක් කියලා එකක් තියෙනවා. ඒ දිනයට කළින් පරිහරණය කරන්න කියලා. රංජන් රාමනායකටත් ඒක තියෙනවා. ඒක විජය කුමාරතුංග මහත්මයට තිබුණා. නෙල්සන් මැන්ඩෙලා මහත්මයට තිබුණා. ලී ක්වාන් යූ මහත්මයා සමුගත්තා. පිදෙල් කස්ත්‍රෝ මහත්මයා අන්තිමේදී සමු අරන් තමන්ගේ සහෝදරයෙකුට දුන්නා.”
“මම ක්‍රිකට් වලින්ම ගන්නම්කෝ, අපි අපේ අගමැතිවරයට බැට් කරන්න ගොඩක් අවස්ථා දුන්නා. ඒ කියන්නේ ගොඩක් සැරයක් පිටියට ගිහින් සෙල්ලම් කරන්න අවස්ථාව දුන්නා. දැන් අපිටත් බැට් කරන්න අවස්ථාවක් දෙන්න. අපි හයේ ඒවා ගහයිද, හතරේ ඒවා ගහයිද, සෙන්චරි ගහයිද කියලා දන්නේ නෑනෙ. උපකල්පනය කරන්න බෑනේ.”
“අපිට විතරක් නෙමෙයි සජිත්ටත් ගහන්න අවස්ථාවක් දෙන්න, නවීන් දිසානායක මහත්මයටත් අවස්ථාවක් දෙන්න. හැම වෙලේම එතුමම බැට් කරන්න ඉල්ලන එක වැරදියි. හරියට අපි පොඩි කාලෙ සෙල්ලම් කරනවා වගේ. අපි හැමදාම කරන්නේ බෝල් කරන එක විතරද.”