හොරණ අනතුර සිදුවු කර්මාන්ත ශාලාවේ කළමණාකරු අත්අඩංගුවට – 12ක් තවමත් රෝහලේ.
හොරණ, බැල්ලපිටිය ප්‍රදේශයේ රබර් කර්මාන්ත ශාලාවක සිදු වු අනතුරින් පසු විවිධ රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයින් 12 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව හොරණ මූලික රෝහල පවසනවා. පුද්ගලයින් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ. ඔවුන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
ඊයේ පස්වරු 1.20ට පමණ පුද්ගලයෙකු ඇමෝනියා පිරවු ටැංකියකට ඇඳ වැටීමෙනුයි අනතුර සිදු වුණේ. එහිදී ඔහු බේරා ගැනීමට ඉදිරිපත් වු පුද්ගලයින් සිව් දෙනෙකු ඇතුළු 05 දෙනෙකු මියගියා. පසුව ස්වසන ආබාධ ඇතුළු විවිධ රෝගී තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයින් 40කට ආසන්න පිරිසක් හොරණ මුලික රෝහලට ඇතුලත් කළ බවයි එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර අනාරක්ෂිත ලෙස අදාළ ස්ථානය පවත්වා ගෙන යාමේ චෝදනාව මත එම රබර් කර්මාන්තශාලාවේ කළමණාකරු හොරණ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව පොලිසිය අදාළ සිදුවීම සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරු අද හොරණ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.