‘එජාපය ප්‍රතිසංවිධානයට කල් මරනවා, අගමැතිතුමා ආකර්ෂණීය තව කෙනකුට අවස්ථාවක් දුන්නොත් හොඳයි’
එක්සත් ජාතික පක්‍ෂයේ පොදු තීරණයකට අනුව මම අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දුන්නා. කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් විරුද්ධව අත ඔසවන්න වුණා. ඒකට වෙන තීරණයක් ගත්ත නම් මට ගෙදර යන්න සිදු වෙනවා. එහෙම වුණා නම් මෙහෙමත් හඬක් නඟන්න නොහැකි බව. සමාජ සවිබල ගැන්වීම් හා සුබසාධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඊයේ (18දා) එම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළේය.
එහිදී රන්ජන් රාමනායක මහතා මෙසේ ද පැවැසීය.
එක්සත් ජාතික පක්‍ෂය ප්‍රතිසංවිධානයට කල් මරනවා. අගමැතිතුමා ආකර්ෂණීය තව කෙනකුට අවස්ථාවක් දුන්නොත් හොඳයි. අගමැතිතුමාට පාර්ලිමේන්තුවේ 225න් වැඩි කැමැත්තක් ලැබුණත් මේ රටේ මිලියන 22ක තවත් ජනතාවක් සිටිනවා. ඒ අයගේ බහුතරයත් දිනා ගන්න වෙනවා. තමන්ට ජනතාව තුළ ප්‍රසාදයක් තියේද නැද්ද කියලා අගමැතිතුමා ස්වයං විවේචනයක යෙදෙන්න අවශ්‍යයි.
අපි පක්‍ෂයට හෙණ ගහන වෙලාවට එළියට දමන යකඩ වගෙයි. කිසිම ඡන්දයක් ගන්නේ නැතුව ආසන පරාජයට පත් වුණු අය. ජාතික ලැයිස්තුවෙන් ආව අය ඇමැති ධුර දරනවා. නියෝජ්‍ය ඇමැති කෙනකුට බලයක් නැහැ. මම නව ඇමැතිතුමාගෙන් බලයක් ඉල්ලා සිටියා. මම නියෝජ්‍ය ඇමැතිද රාජ්‍ය ඇමැති ද කියලවත් එතුමා දැනගෙන සිටියේ නැහැ. වැඩ භාර ගන්න වෙලාවේ මගේ කනට ළං වෙලා ඔබතුමා නියෝජ්‍ය ඇමැති ද කියලා මලික් සමරවික්‍රම ඇමැතිතුමා විමසුවා.
අපි පසුගිය දිනෙක චීන චාරිකාවක නිරත වුණා. අපේ රට චීනයට උකස් කරලා ඉවරයි. පක්‍ෂ විපක්‍ෂ දේශපාලනඥයෝ ඇති කරපු මේ ඛේදවාචකයෙන් මිදෙන්න පක්‍ෂ පාට භේද නැතුව ඉස්සරහට එන්න වෙනවා.