ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අර්ජුන් සහ පලිසේන දේශපාලන අර්බුදය අස්සේ හීන්සීරුවේ බන්ධනාගාර රෝහලට…!

ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර කොල්ලයට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක  නිලධාරී කසුන් පලිසේන දේශපාලන අර්බුදය අස්සේ සූක්ෂමව බන්ධනාගාරයේ සිට බන්ධනාගාර රෝහල වෙත මාරු වී ඇතැයි වාර්තාවේ. ඔවුන් දෙදෙනා මෙතෙක් රදවා සිටියේ කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේයි. මේ වනවිට ඔවුන් බන්ධනාගාර රෝහලේ අංක එක වාට්ටුවේ නේවාසිකව ප‍්‍රතිකාර ලබනවා.

වත්මන් යහපාලන යටතේ වුවද බන්ධනාගාර ගත කරන මෙවැනි සුපිරි කොල්ලකරුවන්, හොරුන්, මිනීමරුවන් ඇතුළු සුප්‍රසිද්ධ අයවලුන්ට බන්ධනාගාර රෝහලේ සුව පහස ලැබීමේ හැකියාව ලැබුණද යම් වරදකට බන්ධනාගාර ගත කරන සාමාන්‍ය පුද්ගලයෙකුට එම අවස්ථාව මෙලෙස ලෙහෙසියෙන් පහසුවෙන් නොලැබෙන බව ප්‍රසිද්ධ කරුණකි.

අර්ජුන් ඇලෝසියස් මෙලෙස බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇත්තේ ශ්වසන අපහසුතාවක් හේතුවෙන් බවත්, පවතින සීතල සහ දූවිලි නිසා ඔහුට මෙම ශ්වසන අපහසුතාව ඇති වී ඇතැයි වෛද්‍යවරුන් නිර්දේශ කර තිබෙනවා. කසුන් පලිසේන රෝහල් ගත කර ඇත්තේ ශ්වසන අපහසුතාවක් මෙන්ම කොන්ද ප‍්‍රදේශයේ ඇති වූ ආබාධයක්ද සැලකිල්ලට ගෙනයි. දින ගණනාවක් බිම නිදා ගැනීමට සිදුවීමෙන් ඔහුට මෙම ආබාධය ඇති වී ඇතැයි වෛද්‍ය නිර්දේශය වී තිබෙනවා. ලබන බදාදා කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙකු ද පැමිණ අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පලිසේන පරීක්‍ෂා කිරීමට නියමිතයි. ඔවුන් සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර ඉන් අනතුරුව තීරණය කරනු ඇති.