මහින්දගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා අත්අඩංගුවට ගන්නේ නෑ – FCIDය අධිකරණයට දන්වයි.
හම්බන්තොට හයට් රිජෙන්සි හොටෙල් ව්‍යාපෘතිය සඳහා නීති විරෝධී ලෙසින් රුපියල් බිලියන 4ක් යොදවා රජයේ මුදල් අවභාවිත කළැයි කියන සිද්ධියට අදාළව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණි සේදර සෙනරත් මහතා ඇතුළු තිදෙනා අධිකරණයට බාරවීමට අකමැති බව කොටුව මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ මෝසමක් මගින් පෙනී සිටිමින් ප‍්‍රකාශ කළහ.
මෙම සිද්ධියට අදාළව අධිකරණයට භාර නොවුණ ද, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත ප‍්‍රකාශයක් ලබාදීම තම සේවාදාකයින් සූදානම් බව සඳහන් කරමින් නීතිඥ නිලන්ත විජේසිංහ මහතා විසින් අධිකරණය හමුවේ ගොනු කළ මෝසමක් කැඳවු අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සේදර සෙනරත්, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු කළමනාකරණ අධ්‍යක්ෂ පියදාස බාලගේ සහ හිටපු සමෘද්ධි කොමසාරිස් නීල් බණ්ඩාර හපුවින්න යන මහත්වරු මෙලෙස මෝසම මගින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධියට අදාළව මෝසමට අනුව නඩුව කැඳවූ මහේස්ත‍්‍රාත්වරිය, සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මඬුල්ලෙන් විමසා සිටියේ, මෙම අයවලූන් නඩුවේ සැකකරුවන් ලෙසින් නම් කර ඇති බැවින් අද දින අධිකරණයට බාරවෙනවාද යන්නය. මෙහිදී සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබීර්, ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස යන මහත්වරුන් ඇතූළු නීතිඥ මඩුල්ල හමුවට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ, තම සේවාදායකයින් අධිකරණය වෙත භාර නොවන බවය.
එසේ නම් ඒ වන විටත් විත්ති කූඩුවේ සිටි සැකකරුවන් තිදෙනාට ඉන් බැස යන ලෙස මහේස්ත‍්‍රාත්වරිය දැනුම් දුන්නාය. ඒ අනුව සැකකරුවෝ තිදෙනා විත්ති කූඩුවෙන් බැස ගියහ. මෙහිදී සැකකරුවන් තිදෙනා වෙනුවෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ නීතිඥවරුන් සඳහන් කර සිටියේ, මෙම සිද්ධියට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කර ඇති බවය.
නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා සඳහන් කළේ පරීක්ෂණයට සහාය දක්වන්නේ නම් අත්අඩංගුවට ගත යුතු නැති බවය. එබැවින් මේ සම්බන්ධයෙන් මෙම අධිකරණයේ විභාග වන නඩුවට අදාළව ප‍්‍රකාශයක් ලබාදීම සඳහා අද දින මෝසමක් මගින් අධිකරණය වෙත දැනුම් දෙන බව ද නීතිඥවරු වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළහ.
මෙම සිද්ධියට අදාළව සැකකරුවන් වශයෙන් නම් කිරීම සම්බන්ධයෙන් ප‍්‍රතිශෝධන නියෝගයක් නොමැති බැවින් සැකකරුවන් අධිකරණය වෙත භාර නොවන්නේ නම් ඒ පිළිබඳව කිසිදු නියෝගයක් තමන්ට සිදු කළ නොහැකි බව මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය සැකකරුවන්ගේ නීතිඥවරුන් වෙත සඳහන් කළාය.
මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය පැමිණිල්ලෙන් විමසනු ලැබුවේ, සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරීමට තිබේ දැයි යන්නය. එහිදී අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාස සඳහන් කරනු ලැබුවේ මෙම විමර්ශනයට අදාළව 2015/10/20 වැනි දින නීතිපති උපදෙස් සඳහා උදෘත ගොනු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ බවත්, එහිදී උපදෙස් ලබා දෙමින් නීතිපතිවරයා සඳහන් කර තිබුණේ අපරාධ නඩු විධාන සංග‍්‍රහ පනත ප‍්‍රකාරව කටයුතු කරන ලෙසත් යන්නය.
ඒ අනුව වැඩිදුර වාර්තාවක් මගින් සිද්ධියට අදාළව අධිකරණයට කරුණු ගොනු කර මෙම තැනැත්තන් තිදෙනා සැකකරුවන් ලෙස නම් කළ බව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළේය.
මෙහිදී මහේස්ත‍්‍රාත්වරිය සඳහන් කරනු ලැබුවේ, නීතිපතිවරයා උපදෙස් ලබාදී තිබේ නම් ඒ ආකාරයෙන් කටයුතු කරන ලෙසත්, සැකකරුවන් සංඥාය වරදක් සිදුකර ඇත්නම් ඒ සම්බන්ධයෙන් නීතියේ ප‍්‍රතිපාදන අනුව කටයුතු කිරීමට පොලිසියට බලතල ඇති බවත්ය.