ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තොරතුරු දැනගැනීමේ කොමිසමට මුදල් ලබාදී නෑ – ඔක්තෝබර් මාසයේ වැටුප පවා ගෙවා නැහැ.

තොරතුරු දැනගැනීමේ පනත යටතේ ස්ථාපිත කරන ලද තොරතුරු දැනගැනීමේ කොමිෂන් සභාවේ වැඩ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ඔක්තෝබර් පළමු වැනි දා සිට කිසිදු මුදලක් ලබා දී නැතැයි රජයේ ආරංචි මාර්ග පවසයි.

එම කොමිෂන් සභාවේ සේවකයන්ට, නිලධාරීන්ට සහ කොමිෂන් සභා සාමාජිකයන්ට ඔක්තෝබර් මාසයේ වැටුප පවා මේ වන තුරු ගෙවා නැතැයි එම ආරංචි මාර්ග පවසයි. ඇතැම් නිලධාරීන්ට මාස දෙකකින් වැටුප් ගෙවා නැතැයි වාර්තා වේ.

මුදල් නොමැතිකම නිසා කොමිෂන් සභාවේ පිරිස පසුගිය දින කිහිපයේ වතුර බෝතලයක් මිලදී ගැනීමටවත් නොහැකිව අපහසුතාවට පත්ව සිටි බවත් කොමිෂන් සභාවට මේ වන විට අභියාචනා රැසක් ලැබී ඇති අතර මුදල් ප්‍රතිපාදන නොමැතිකම නිසා ඒවා විභාග කිරීමේ ගැටළු මතුවී ඇති බවත්, ඇතැම් නිලධාරීන් තම පෞද්ගලික මුදලින් අවශ්‍ය කටයුතු සිදු කරන බවත් වාර්තා වේ.

තොරතුරු දැන ගැනීමේ පනත අනුව පිහිටවූ තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභා කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ. ඊට සේවකයන් 10 දෙනකු පමණ අවශ්‍ය වුවත් මුදල් ගැටළුව නිසා තිදෙනකු පමණක් සේවය කරන බව දැනගන්නට ඇත.

මහින්ද ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් යුත් තොරතුරු කොමිසමේ සෙසු සාමාජිකයන් ලෙස නීතීඥ එස් ජී පුංචිහේවා, නීතීඥ ක්‍රිෂාලි පින්ටො ජයවර්ධන සහ ආචාර්ය සෙල්වි තිරුචන්ද්‍රන් යන මහත්ම මහත්මීහු කටයුතු කරති.