ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

සයිටම් අර්බුදය විසදීමට මැදිහත් වෙන්නැයි මහනාහිමිවරුන්ගෙන් ජනපතිට හා අගමැතිට ලියුමක්

සයිටම් ආයතනය මුල්කොට පැනනැගී ඇති අර්බුදය විසදීමට ප්‍රමාදවීම රටට හිතකර නොවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකරමින්  ත්‍රෛනිකායික මහනාහිමිවරුන් පවසයි. මල්වතු පාර්ශවයේ මහනායක අතිපුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන, අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය කොටුගොඩ ශ්‍රී ධම්මාවාස සහ රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපුජ්‍ය නාපාන ප්‍රේමසිරි නාහිමියන්ගේ අත්සනින් යුක්තව අදාළ ලිපිය යොමුකර ඇති බව වාර්තා වෙයි.

සයිටම් විද්‍යාතනය සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදයට ස්ථිරසාර විසඳුමක් ලබාගැනීමට මැදිහත් වන ලෙස රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය එක්ව මහනාහිමිවරුන් වෙත ඉදිරිපත් කරන කරුණු සැලකිල්ලට ගනිමින් මෙම ලිපිය යොමුකර තිබේ.

අදාළ පාර්ශව සියල්ලටම එකඟවිය හැකි විසඳුමක් කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරන ලෙස මහනාහිමිවරුන් ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර ඇත. මේ සඳහා දැනට රජයේ වෛද්‍ය පීඨාධිපතිවරුන් අට දෙනෙකු විසින් යොමුකර ඇති යෝජනා පදනම් කොටගෙන යළිත් වරක් සියලු පාර්ශව සමඟ නම්‍යශීලීව එකී යෝජනාව සම්බන්ධයෙන් සම්මුතියකට එළඹ කාටත් හිතකර විසඳුමකට එළඹීමට හැකිනම් වඩාත් ප්‍රායෝගික බව මහනාහිමිවරුන් පෙන්වා දී තිබේ.

මෙම අර්බුදය දැනටමත් වෛද්‍ය අධ්‍යාපනයට සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව සාමාන්‍ය මහජනතාවට ද බලවත් හානියක් ගෙන දෙන බැවින් ඒ සඳහා කඩිනමින් විසඳුමක් ලබාදීමට සුදුසු පියවරක් ගන්නා ලෙස අදාළ ලිපිය මඟින් මහනාහිමිවරුන් වැඩිදුරටත් ඉල්ලා ඇත.