නොරොච්චෝලේ ගල්අගුරු බලාගාරය අවට දරුවන්ට “චර්ම රෝග”.

කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු විදුලි බලාගාරය සඳහා මේ වසරේ පරිසර බලපත්‍රය නිකුත් කර නොමැති බව වයඹ පළාත් පරිසර අධිකාරිය ප්‍රකාශ කරයි. වයඹ පළාත් පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස්.කේ.ඒ වන්නිආරච්චිගෙන් ඒ පිළිබඳ කළ විමසීමේදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වන බැවින් ඒ පිළිබඳ වැඩි දුර යමක් ප්‍රකාශ කළ නොහැකි බවය.

වයඹ පළාත් පරිසර අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ එස් .කේ.ඒ. වන්නිආරච්චි, වයඹ පළාත් පරිසර අධිකාරියේ තොරතුරු ලබා දීමේ නිලධාරියා ද වන අතර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ද ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය නොහැකි බව ඔහු පැවසිය .

කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල්අගුරු විදුලි බලාගාරය නිසා ඒ අවට ප්‍රදේශයේ විශාල පරිසර හානියක් සිදු වන බවට ජනතාව මැසිවිලි නගන්නේ දීර්ඝ කාලයක සිට ය.

බලාගාරය ඉදිකිරීමට පෙර සිටම ප්‍රදේශයේ ජනතාවගෙන් මෙන්ම පරිසරවේදීන්ගෙන් ද ඊට දැඩි විරෝධයක් එල්ල විය.

එහිදී පරිසරවේදීන් මෙන්ම ජනතාව ද පෙන්වා දුන් ප්‍රධාන කරුණක් වූයේ බලාගාරයෙන් ඉවත ලන අපද්‍රව්‍ය බැහැර කෙරෙන ආකාරය ගැටලු සහගත විය හැකි බවය.

නොරොච්චෝලේ බලාගාරය නිසා පාරිසරික සහ සෞඛ්‍ය බලපෑම්
අද වන විට අපද්‍රව්‍ය බැහැර කිරීමට අමතරව බලාගාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය වන ගල් අඟුරු ගබඩා කිරීම හා එහි තත්ත්වය පිළිබදව ද බරපතළ ගැටලු මතුව ඇති බව ඔවුහු පෙන්වා දෙති.

ප්‍රදේශයේ ජනතාවට බරපතළ සෞඛ්‍ය ගැටලු කීපයකට මුහුණ දීමට සිදු වීම ඒ අතර ප්‍රධාන වේ.

බලාගාරය අවට ජිවත් වන ළමුන් පිරිසකට චර්ම රෝග වැළඳී තිබේ.

නොරොච්චෝලේ බලාගාරය ආසන්නයේ උතුරු දෙසින් පිහිටි නිවසේ ජිවත් වන දැරියකගේ දෑත්වල, බලාගාරයට දකුණු දෙසින් පිහිටි නිවසේ ජිවත් වන දැරියකගේ පාද වල ද, බලාගාරයට නැගෙනහිරින් පිහිටි නිවාස දෙකක ජිවත් වන දරුවන් දෙදෙනෙකුගේ පාදයේ හා හිසේ ද එම රෝගී තත්ත්වයන් දැක ගත හැක.

මීට අමතරව බලාගාරය අවට ගම්මානවල ජිවත් වන තවත් ළමුන් රැසකගේම සමේ නොයෙකුත් වෙනස් කම් දක්නට ලැබෙන අතර වැඩිහිටි පුද්ගලයන් රැසක් ශ්වසන රෝගාබාධවලින් පීඩා විදින බව නොරොච්චෝලේ පරිසර සුරැකීමේ සංවිධානයේ සභාපති ඩබ්ලිව් කැනිෂියස් පිරිස් පැවසිය .

විදුලි බලාගාරයේ ප්‍රධාන අමුද්‍රව්‍ය වන ගල්අඟුරු නිසි පරිදි ගබඩා නොකිරීම හා ඉවතලන අපද්‍රව්‍ය නිසි ලෙස බැහැර නොකිරීම හේතුවෙන් පනීඅඩිය ,නාරක්කල්ලිය, මාම්පුරිය, පුලච්චෙන, ඉලන්තඩිය යන බලාගාරය අවට පිහිටි ගම්මාන තුළ වාතයට ගල්අඟුරු මිශ්‍ර දුහුවිලි හා අළු එක්ව ඇත.

එසේ අවට වාතය දූෂණයට ලක් වීම ඉහත කී රෝගවලට ප්‍රධාන හේතුව බව නොරොච්චෝලේ පරිසර සුරැකීමේ සංවිධානයේ අදහස වී තිබේ.

ළමුන්ට ‘චර්ම රෝග’

Image caption“අපි නොරොච්චෝලේ – මෙන්න අපේ අත්”

බලාගාරය ආසන්නයේ වෙසෙන ශිරෝමි මල්කාන්ති හා සුනිල් ඩෙන්සිල් යන යුවලට දරුවන් තිදෙනෙකු සිටින අතර බාල දරුවා බරපතළ චර්ම රෝගයකට ගොදුරුව සිටි.

“දරුවට වයස අවුරුද්දයි .උපන් දා සිට මේ සමේ රෝගේ තියනවා. මුළු ඇඟ පුරාම තියනවා ” යනුවෙන් මල්කාන්ති පවසන්නීය.

“දොස්තරලා දන්නෙත් නැහැ ලෙඩේ මොකද්ද කියල. බලාගාරේ ළඟ ඉන්නේ කිව්වම කියනවා මෙතැනින් අයින් වෙන්නලු. ළමයව බිම තියන්න එපාලු. ගල්අඟුරු කුඩුවලටත් මෙහෙම වෙන්න පුළුවන්ලු. බලන්න මේ වතුර ටිකක් බීලා. ගල්අඟුරු කුඩු මේ වතුරේ තියනවා නේද ? ඒ වගේම වතුර කිවුල්” යනුවෙන් ඇයගේ ස්වාමි පුරුෂයා වන සුනිල් ඩෙන්සිල් වැඩිදුරටත් කියා සිටියේය.

බලාගාරයට නැගෙනහිරින් ජිවත් වන හැත්තෑ හැවිරිදි ජේ. වෙරෝනිකා මාතාවගේ මුණුපුරන් දෙදෙනෙකුම චර්ම රෝගයට ගොදුරුව ඇත.

ඉන් එක් දරුවෙකුගේ පාදයේ අඟල් දෙකක පමණ බිබිලක් ලෙස ද අනෙක් දරුවාගේ හිසේ ද චර්ම රෝගය දක්නට ලැබේ.

විද්‍යාත්මක පසුබිම

විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු
Image captionවිශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු

පරිසර පදනම විසින් මේ වන විට අධිකරණයේ ගොනු කරනු ලැබ ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ කල්පිටිය නොරොච්චෝලේ ලක්විජය ගල්අඟුරු විදුලි බලාගාරය හේතුවෙන් ඒ අවට මහජනතාවට හා පරිසරයට සිදුව ඇති පීඩා පිළිබඳවය.

ගල්අඟුරුවලින් හා ඉවතලන අළු හේතුවෙන් සෞඛ්‍යයට සිදුවන හානි පිළිබඳව පරිසර පදනම අධ්‍යයනයක ද නිරතව ඇති අතර එම අධ්‍යයනයේ යෙදුනු විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු විදෙස් රටවල ගල්අඟුරු බලාගාර පිළිබදව ද අධ්‍යනයක නිරතව ඇත .

ගල්අඟුරු කුඩු හා ඉවතලන අළු පරිසරයට මිශ්‍ර වීම තුළ වාතය මෙන්ම ජලය ද අපිරිසිදු වන බව බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු කියා සිටියාය.

“මිනිස් සිරුරට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය මේ නිසා මිනිස් සිරුරට ඇතුළු විය හැකියි. ඒ තුළින් පෙනහළු ආශ්‍රිත රෝග, චර්ම රෝග, පිළිකා , වකුගඩු රෝග හා හදවත් රෝගත් ඇති විය හැකියි .මෙවැනි තත්ත්ව නොරොච්චෝලේ අවටින් දැනටමත් වාර්තා වී තිබෙනවා” යනුවෙන් ඇය සඳහන් කළාය.

“ඒ වගේම අවුරුදු ගණනක සිට මෙවැනි බලාගාර තිබූ රටවල මේ ආකාරයේ රෝග සහිත පුද්ගලයන් විශාල ප්‍රමාණයක් වාර්තා වෙනවා. ලංකාවෙත් මේ තත්ත්වය ඉදිරියේදී විශාල ලෙස සිදුවිය හැකියි” යනුවෙන් විශේෂඥ වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු අනතුරු අඟවන්නීය.

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය ආරම්භ කළ 2011 වර්ෂයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් රටවල් 91 ක නගර 1,100 ක වායු තත්ත්ව පරික්ෂා කරන ලදී.

වායු දූෂණය වීමට එම නගරවල පිහිටි ගල්අඟුරු බලාගාර ප්‍රධාන හේතුවක් වී ඇති බව එහි දී අනාවරණය වී ඇති ප්‍රධාන කරුණකි.

පරිසරවේදීන්

ගල් අඟුරු බලාගාරය අසල වැසියකු අඟුරු කුඩු නිසා කළු ගැසුණ සිය අතක් පෙන්වමින්
Image captionගල් අඟුරු බලාගාරය අසල වැසියෙක් අඟුරු කුඩු නිසා කළු ගැසුණ සිය අතක් පෙන්වමින්

කල්පිටිය අර්ධද්වීපයේ නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදි කළ ලක්විජය ගල්අඟුරු බලාගාරයට මුල සිටම විරෝධය පළ කළ පරිසර සංවිධානයකි පරිසර යුක්ති කේන්ද්‍රය.

එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ පවසන පරිදි බලාගාරය සඳහා රැගෙන එන ලද යන්ත්‍ර සහ උපකරණ වසර තිහක් ඉපැරණිය.

“අපි මුල සිටම මේ බලාගාරයට විරුද්ධ වුණේ නිසි තාක්ෂණය භාවිත නොකර මෙය ඉදිකිරිම නිසයි. ඉවතලන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් නැහැ. මේ හේතුවෙන් මේ අපද්‍රව්‍ය මේ පරිසර පද්ධතියට එකතු වෙනවා. අද වන විට මේ ආයතනය ගැන නිරීක්ෂණය කරන්න කවුරුත් නැහැ” යනුවෙන් ඔහු පැවසීය.

පරිසරවේදි විදුර රළපනාව සාම්පූර් බලාගාරය මෙන්ම නොරෝච්ච්ලේ ගල්අඟුරු විදුලි බලාගාරය පිළිබදව ද අධ්‍යයනය කළ පරිසරවේදියෙකි .

නොරොච්චෝලේ බලාගාරය අවට වෙසෙන ජනතාවට එහි ජිවත් වීමට නුසුදුසු තත්ත්වයක් විදුලිබල මණ්ඩලය විසින් නිර්මාණය කරනු ලැබ ඇති බව ඔහුගේ මතය වී තිබේ.

නොරොච්චෝලේ බලාගාරය දිනකට අළු මෙට්‍රික් ටොන් නවසිය දහයක් ( Fly Ash 850 MT , Bottom Ash 60 MT) පිට කරන බව ඔහු පැවසීය.

“2011 පෙබරවාරි මාසයේ මේ බලාගාරය ආරම්භ කළ දින සිට මේ අළු එකතු වෙනවා . මුලින් සිමෙන්ති වැනි නිෂ්පාදන සඳහා මේ අළු රැගෙන ගියා දැන් ඒ තත්ත්වය දකින්න ලැබෙන්නේ ඇතැම් කාලවලදී පමණයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

රජයේ අධ්‍යයන

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය
Image captionනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය

ගල්අඟුරු සහ ගෑස් විදුලිබලාගාර පිළිබඳව අධ්‍යනයක නිරතවීමට පරිසර විශේෂඥයෙකු වන ආචාර්ය සුමිත් පිලපිටියට අවස්ථාව ලැබී ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කර ඇති එම අධ්‍යයනයේදී පරිසරයට සිදුව ඇති බලපෑම් පිළිබඳ විශේෂයෙන් සොයා බලා ඇති අතර ගල්අඟුරු බලාගාරයෙන් පිට කරන අපද්‍රව්‍ය බැහැර කිරීමට නිසි ක්‍රම වේදයක් නොමැති වීම පරිසර විනාශයට ප්‍රධාන හේතුව බව ආචාර්ය සුමිත් පිලපිටිය ප්‍රකාශ කරයි.

නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් පරිසරයට එල්ලවන බලපෑම පිළිබඳ එම ප්‍රදේශවාසීන් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා සොයා බැලීමට විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇති බව එහි පරිසර හා සංරක්ෂණ විෂය භාර අධ්‍යක්ෂ ගාමිණී සරත්චන්ද්‍ර පැවසිය .

ධීවර හා ගොවි ප්‍රජාව, පරිසරවේදීන්, ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා පරිසර පදනම යන ආයතනවල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පවත්වා තිබේ.

මේ වන විට නොරොච්චෝලේ ප්‍රදේශවාසීන්ගේ අදහස් හා යෝජනා කමිටුවට ඉදිරිපත් කර ඇත.

එම කමිටුව ලබන මාසයේ නැවත රැස්වීමට නියමිත අතර එහි වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා ඉදිරිපත් කිරීමට ද නියමිත ය.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිචාරය

වගා විනාශය
Image captionවගා විනාශය

නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයෙන් යම් පරිසර හානියක් සිදුවන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය ද පිළිගනී.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පවසන පරිදි ප්‍රමිතියකින් තොරව ශ්‍රී ලංකාවට මීට පෙර ගල්අඟුරු ආනයනය කර ඇති අතර පරිසර හානියට එය හේතුවක් වී ඇත.

ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවෙන් 40% නිෂ්පාදනය කරන්නේ නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරයෙනි.

මෙගාවොට් 300 බැගින් වූ ජනන යන්ත්‍ර තුනක් ඒ සඳහා භාවිතයට ගැනේ.

“බලාගාරය හේතුවෙන් පරිසර හානියක් සිදු වෙනවා ඉන් ජනතාව පිඩාවට පත්වෙලා ඉන්නවා කියල පසුගිය කාලය පුරාම පැමිණිලි ලැබිල තියනවා. ජනතාව පීඩාවට පත් වෙලා තියෙන්නේ අළු මිශ්‍ර සුළං සමග ගසාගෙන යාමෙන්. මේ අනුව යම් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් ආරම්භ වෙලා තියනවා .ඒ අනුව ඉදිරියේදී සුළං බාධකයක් ඉදිකිරීමට නියමිතයි” යනුවෙන් ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසිය .

“ඕනෑම බලාගාරයකින් යම් පරිසර හානියක් සිදුවෙනවා. යම් අඩුපාඩුවක් සිදුවෙනවා නම් එය මුල් අවස්ථාවේ හඳුනා ගැනීමක් සිදු නොවුනා නම් ඉදිරියේදී හෝ හඳුනා ගන්න වෙනවා .විශේෂයෙන්ම බලාගාරය සඳහා රැගෙන එන ගල්අඟුරුවල ප්‍රමාණය පිළිබඳ ඉදිරි ප්‍රසම්පාදන ක්‍රියාවලියේදී සළකා බලා කටයුතු කිරීමටත් තීරණය වී තිබෙනවා” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Image caption“අපේ පැත්තේ බීට් කලුපාටයි”

ලංකා විදුලිබල මණ්ඩලය පවසන පරිදි නොරොච්චෝලේ ගල්අඟුරු විදුලි බලාගාරය සඳහා පරිසර බලපත්‍රයක් ලබා ගෙන තිබේ.

එහෙත් වයඹ පළාත් පරිසර අධිකාරිය පවසන ආකාරයට නොරෝච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් මේ වසර සඳහා පරිසර බලපත්‍රයක් නිකුත් කර නොමැත.

ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය පරිසර බලපත්‍රය ලබා ගත්තේ කුමන ආයතනයකින් ද යන්න ගැටලු සහගතය.

වයඹ පළාත් පරිසර ප්‍රඥප්තිය අනුව වයඹ පළාතේ කරගෙන යනු ලබන කර්මාන්ත සඳහා අනිවාර්යයෙන් පළාත් පරිසර අධිකාරියෙන් පාරිසරික බලපත්‍රයක් ලබා ගත යුතුය.

පරිසර විනාශ සිදු කළ ආයතන කීපයක් සඳහා වයඹ පළාත් පරිසර අධිකාරිය පරිසර බලපත්‍ර ලබා නොදිම හේතුවෙන් එම ආයතන වසා දැමීමට පසුගිය කාලයේ සිදුවිණි.

සබැඳි යොමු: