මහින්ද පිලේ මන්ත්‍රී විමලවීරගේ කැබ් රථයේ හැපී යතුරුපැදිකරු මරුට
අම්පාර – මහාඔය මාර්ගයේ කරංගාව ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා ගමන් ගත් කැබ් රථය ඊයේ (29 දා) අලුයම යතුරුපැදියක ගැටීමෙන් යතුරුපැදිකරු මියගොස් යතුරුපැදිය පිටුපස ගමන් කළ තවත් අයකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත. අනතුරින් ඩබල් කැබ් රථයට සහ යතුරුපැදියට බරපතළ හානි සිදු වී ඇත. සිද්ධිය වන අවස්‌ථාවේ කැබ් රථය අධික වේගයෙන් ධාවනය වී ඇති බවත් එහි රියෑදුරුගේ නොසැලකිලිමත්කමින් මෙම අනතුර සිදු වී ඇති බවත් මූලික පොලිස් පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ.
මෙම අනතුර සිදුවන අවස්‌ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක නැගෙනහිර පළාත් සභා මන්ත්‍රී ඩබ්ලිව්. පී. වීරසිංහ යන මහත්වරුන් ඇතුළු තිදෙනකු කැබ් රථයේ ගමන් කර ඇති අතර ඔවුන් කිසිවකුටත් අනතුරක් සිදුවී නැත.
විමලවීර දිසානායක මහතා ඇතුළු පිරිස ගමන්ගත් කැබ්රථය මහඔය උහන මාර්ගයේ අම්පාර දෙසට ධාවනය වෙමින් තිබියදී අම්පාරේ සිට උහන දෙසට ධාවනය වූ යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුවිය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ උහන තිස්‌සපුර පදිංචි වහුම්පුරගේ සුනිල් ශාන්ත නමැති 33 හැවිරිදි පුද්ගලයෙකි. මෙහිදී බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ උහන තිස්‌සපුර පදිංචි ප්‍රියන්ත කුමාර යන අය බව පොලිසිය පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කළ අම්පාර පොලිසිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රියෑදුරු අත්අඩංගුවට ගත් අතර ඊයේ (29 දා) සවස ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.