එජාපය විජේදාස නෙරපයි – ජනපතිට ලිඛිතව දැනුම් දෙයි.
විජයදාස රාජපක්ෂ මහතා කැබිනට් අමාත්‍යය ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂය අද (22) ජනපතිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ. අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය ලිඛිතව ජනපතිවරයාගෙන් ඉල්ලූ බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් ඇමති කබීර් හෂීම් මහතා පවසයි.
පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල තීරණය අනුව කටයුතු කිරීමට රාජපක්ෂ මහතා අපොහොසත් වී ඇති බැවින් සහ තව දුරටත් රජයේ අමාත්‍යවරුන් සහ රජයේ ප්‍රතිපත්ති විවේචනය කරමින් කටයුතු සිදු කරන බැවින් පක්ෂය මෙම තීරණය ගත් බව පක්ෂයේ මහ ලේකම් කබීර් හෂීම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ අනුව අධිකරණ අමාත්‍ය ධුරයෙන් පමණක් නොව බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ද ඒ මහතා ඉවත් කිරීමට නියමිතය.
විජයදාස රාජපක්ෂ මහතාට ඊයේ(21) දිනය වන තෙක් කාලය ලබා දි තිබු නමුත් අද(22) වන විටත් එයට ප්‍රතිචාර නොලැබීම හේතුවෙන් මෙම තීරණය ගත් බව කබීර් හෂීම් මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.
එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හා පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී විජයදාස මහතා ගැන විශ්වාසයක් නැතැයි ඒකමතිකව තීරණය වූ නිසා විජයදාස මහතා මෙලෙස එම ධූරයෙන් ඉවත් කරන ලෙස එජාපය ජනපතිවරයාට දැනුම් දී තිබේ.
ඔහු ඉවත් කරන ලෙස එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද මේ වන විට ජනපතිවරයාට දැනුම් දී තිබේ. එම අමාත්‍ය ධුරය මීළඟට ලබාදෙන්නේ කාටද යන්න මෙතෙක් ස්ථීරව තීරණය කර නොමැති බවද වාර්තාවේ.