ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

රවී අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී පාර්ලීමේන්තුවේ පසුපෙළ අසුන්ගනී – (වීඩියෝ)

බැදුම්කර වංචාව සම්බන්දයෙන් චෝදනා එල්ලවි ඇති විදේශ අමාත්‍ය රවී කරුණානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් තමන් සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව ප්‍රකාශ කළා. තම තනතුර කැප කරන්නේ ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සම්මුතිවාදී ආණ්ඩුව වෙනුවෙන් බවයි ඔහු කියා සිටියේ.

ඊයේ රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා රවී කරුණානායක යන මහත්වරුන් එක්ව පවත්නා තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව දේශපාලන ආරංචි මාර්ග විසින් තහවුරු කරයි.

විශේෂ ප්‍රකාශය ආරම්භ කරමින් ඔහු සඳහන් කළේ සමාජජාල හරහා මෙන්ම ඇතැම් මන්ත්‍රිවරුද තමන් පිළිබඳව පසුගියදා විවිධ ප්‍රකාශ සිදු කිරීම නිසා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමටත් තම ස්ථාවරය දැනුම්දීමටත් මෙම ප්‍රකාශය සිදු කරන බවයි.

තමන් සතු බත්තරමුල්ල ප්‍රදේශයේ නිවස ප්‍රතිසංස්කරණය කිරීම නිසා ලබා ගත් කුලී නිවස පිළිබඳවත් එම නිවස හිමිකර ගැනීම පිළිබඳවත් බැඳුම්කර කොමිසම හමුවේ තමන් කරුණු සඳහන් කළ බවත් ඔහු එහිදී සිහිපත් කළා. අර්ජුන් ඇලෝසියස් මහතා විසින් කොළඹ අධි සුඛෝපබෝගී මහල් නිවාසයක් කුලී පදනම මත ලබාගෙන ඒ වෙනුවෙන් මසකට ලක්ෂ 14ක පමණ මුදලක් ගෙවා ඇතත් එහි පදිංචිව සිට ඇත්තේ එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බව  බැදුම්කර කොමිසම හමුවේ අනාවරණය වූයේ ඉකුත් ජූලි 24 වන දාය.

පසුකාලීනව එම නිවස ලබා ගැනීම සඳහා මුදල් ලබා ගත්තේ තම පවුලේ පිරිස අධ්‍යක්ෂ පදවි දරණ ආයතනයනක් විසින් පුද්ගලික බැංකුවකින් ලබාගත් ණයකින් බව සඳහන් කළ අමාත්‍යවරයා එහි ලේඛණ සහ වාර්තා සභාගත කරන බවද කියා සිටියා.

අගෝස්තු 02 වන දින කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා කියා සිටියේ අදාළ නිවස මිලදී ගනු ලැබුවේ තම බිරිඳ හා දියණිය විසින් බවත්, එහි ගනුදෙනු සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
කෙසේ වෙතත් දීර්ඝ ලෙස සිදුකරනු ලැබූ ප්‍රශ්න විමසීමේදී තම බිරිඳ හා දියණිය අධ්‍යක්ෂ ධූරය දරන GLOBAL LOGISTIC සමාගමේ සභාපති ධුරය දරණ ලක්ෂ්මි කාන්තන් නැමැත්තා නිවස මිලදී ගැනීම සඳහා මුදල් ලබාදී ඇති බවද කරුණානායක මහතා කොමිසමට ප්‍රකාශ කළේය.
කෙසේ වෙතත් රටේ මුදල් අමාත්‍යවරයා ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ  ප්‍රධානියා විසින් මුදල් ගෙවන නිවසක පදිංචි වී සිටීම කිසිසේත්ම නුසුදුසු කරුණක් බවට තමන් පිළිගන්නේ දැයි කොමිසම අමාත්‍යවරයාගේ ප්‍රශ්න කරන ලද අවස්ථාවේදී අමාත්‍යවරයාගේ ප්‍රතිචාරය වූයේ තමන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදැන සිටි අතර තමන් දැන සිටියේ නම් එලෙස එහි පදිංචියට‍ නොයන බවයි.