සිසුන් බඳවා ගැනීම ස්ථීරවම නවතා දැමිම ඇතුළු සයිටම් ප්‍රශ්නයට පීඨාධිපතිවරුන්ගෙන් නිර්දේශ 04ක්
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුධකාරී තත්ත්වය විසඳා ගැනීම සඳහා රජයේ වෛද්‍ය පීඨ අටෙහි පීඨාධිපතිවරුන් නිර්දේශ හතරක් සහිත ලිපියක් උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වෙත යොමු කරතිබේ. එම නිර්දේශයන්ට අනුව මුලිකව වෛද්‍ය උපාධිය සඳහා එම ආයතනයට සිසුන් බඳවා ගැනීම නවතා දමන ලෙස ඔවුහු නිර්දේශ කර ඇත.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අර්බුදය හේතුවෙන් මේ වන විට රාජ්‍ය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයන්හි ආරම්භ කර ඇති පන්ති වර්ජනයද නිමා කර නැවත අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම තුළින් හැකි වන බවයි පීඨාධිපතිවරු පෙන්වා දෙන්නේ.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මගින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා වෙත එම ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇත.යොමු කර තිඛෙන ලිපියේ පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාට යොමු කර ඇත.
ඒ අනුව වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන්ගේ නිර්දේශ වන්නේ,
1 මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය සඳහා සිසුන් ඇතුළත් කරගැනීම නවතා දැමිය යුතුයි. (සිසුන් බඳවා ගැනීම ස්ථීර පදනම යටතේ නවතා දැමිය යුතුය)
2 වසර 2016ට පෙර බඳවා ගන්නා ලද ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම සුදුසුකම් සපුරන ලද සිසුන්ට ( උසස් පෙළ විභාගයේදී සම්මාන සාමාර්ථ දෙකක් සහ සාමාන්‍ය සාමාර්ථයක් ) ඔවුන්ගේ පාඨමාලා අවසන් කිරීමට ඉඩ දිය යුතු අතරම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අමතර පුහුණු අවශ්‍යතා සැපිරීමෙන් පසු ඔවුන්ට වෛද්‍ය ශ්‍රම බලකායට ඇතුළත් කර ගත යුතුය. එමෙන්ම ඔවුන් ලංකා වෛද්‍ය සභාවේ බලපත්‍ර විභාගය ද සමත් විය යුතුය.
3 වසර 2016ට පෙර බඳවා ගන්නා ලද සිසුන් සඳහා පවත්වන අන්තර්කාලීන වෛද්‍ය උපාධි අධ්‍යයන වැඩසටහන සහ වෛද්‍ය උපාධිය පිරිනැමීම ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවේ රෙගුලාසිවලට අනුකූලව අන්තර්කාලීන ස්වාධීන අධිකාරියක් විසින් අනුමත කළ යුතුය.
4 වෛද්‍ය පනතේ 72.4 වගන්තිය ප්‍රකාරව 1 සහ 3 නිර්දේශ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු අතර එම අනුමැතිය ගැසට් නිවේදනයක් මඟින් ප්‍රසිද්ධියට පත් කළ යුතුය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා මගින් උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යවරයා වෙත එම ලිපිය විෂය භාර අමාත්‍යවරයා වෙත යොමු කර ඇත. ලිපියේ පිටපත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ට සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරිවරයාටද යොමු කර තිබේ.
මෙම නිර්දේශ අනුව කටයුතු කරන්නේ නම් අනාගතයේදී මෙරට වෛද්‍ය අධ්‍යාපන වැඩසහන් ඉහළම ප්‍රමිති සහ සම්මතවලට අනුව ක්‍රියාත්මක වීමත් වෛද්‍ය අධ්‍යාපනය සුරක්ෂිත වීමත් වනු ඇතැයි පීඨාධිපතිවරු සඳහන් කරති.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය ජෙනිෆර් පෙරේරා, පේරාදේණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය වජිර වීරසිංහ, රුහුණ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සමන් විමලසුන්දර, යාපනය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති ආචාර්ය එස්. රවිරාජ්, කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞඛ්‍ය සත්කාර විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය ඇන්ජෙලා අරුල්ප්‍රගාසම් සහ රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය සිසිර සිරිබද්දන යන මහත්ම මහත්මීන් එම ලිපියට අත්සන් තබා ඇත.