ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් වැඩ වර්ජනවලට යෑම අවශ්‍ය නෑ

සයිටම් අර්බුදය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කළ ධනාත්මක සාකච්ඡාවට අනුව කඩිනමින් වැඩ වර්ජනවලට අවතීර්ණ වීමේ අවශ්‍යතාවක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයට නොමැති බව සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.

සයිටම් අර්බුදය ජයග්‍රහණය කිරීම හුදෙක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලබන ජයග්‍රහණයක් නොවන බවත් එය සමස්ත ජනතාවගේ රෝගී අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සම්බන්ධයෙන් වූ ජයග්‍රහණයක් බවත් හෙතෙම කීය. මෙතරම් දිනයක් ගැටුම් හා හැලහැප්පීම් මධ්‍යයේ සයිටම් ගැටලුවට විසඳුමක් සෙවීමට තම සංගමය කටයුතු කළ බවත් නමුත් මේ වන විට ගැටලුවේ බරපතලකම තේරුම් ගත් රජයේ පාර්ශ්වයන් පවා මෙයට විසඳුමක් සෙවීමට උත්සුක වී ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලැබුණු හදිසි ආරාධනාවක් මත සංගමයේ සාමාජිකයින් එතුමා සමඟ පසුගිය 12දා රාත්‍රියේ සාකච්ඡාවක නිරත වූ බවත් එම සාකච්ඡාවට සෞඛ්‍ය ඇමැතිවරයා ද කැඳවා තිබූ බවත් ඒ මහතා පැවැසුවේය. වෛද්‍ය පීඨාධිපතිවරුන්, වෛද්‍ය පීඨ ආචාර්යවරුන්ගේ සංගමය සහ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය එක්න සකස් කළ යෝජනා පහ මත සයිටම් අර්බුදය විසඳීමේ සාකච්ඡා ඉදිරියට යා යුතු බව අගමැතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් එතුමා ඒ සඳහා එකඟතාව පළ කළ බවත් වෛද්‍ය අලුත්ගේ මහතා පැවැසීය.

මේ අවස්ථාවට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා, මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද, මාධ්‍ය කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහත්වරු සහභාගි වූහ.