‘මේක නොරච්චෝලෙටත් එහා නාස්තිකාර පාඩු ලබන ව්‍යාපෘතියක්’ – සමන්ත විද්‍යාරත්න
මේ රසිකයෝ අපේ ඡන්දදායකයෝ
බවට පත්වෙන දිනය වැඩි ඈතක නෑ…
අපේ නායකයා මධ්‍ය කඳුකරයේ පරිසරය ගැන කතා කළේ
රටේ පරිසර අමාත්‍යාංශයක් වත් නැති කාලේ…
ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මේ දිනවල අපේ දේශපාලන කරළියේ කැපී පෙනෙන්නේ උමා ඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමයට එරෙහිව නැගෙන ජනතා අරගලයත් සමඟයි. උමා ඔය යෝජනා ක්‍රමයට එරෙහි ඌවේ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු ලෙස කටයුතු කරමින් සමන්ත කරන සමාජ කාර්යභාරය සුළුපටු නොවේ. එහෙත් රට හමුවේ ඇති යළි හැරවිය නොහැකි බරපතළ න්‍යායාත්මක ප්රමුඛ කාරණා විසඳාගන්නට තිබියදී “සයිටම් – උමා ඔය” වැනි ඉන් මෙපිට ඇති අරගලවලට ජනතාව පෙළගස්වන්නේ ජ වි පෙය ආණ්ඩුවේ කොන්ත්‍රාත්තුවක් ඉටුකිරීමක් බවට චෝදනාවක් ද තිබේ. මේ චෝදනාව නැගෙමින් තිබෙන මොහොතක අපි සමන්ත විද්‍යාරත්න හමුවූයේ ඒ ගැන සංවාදයක් ගොඩනගන්නටය.
ප්රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ මේ යහපාලන ආණ්ඩුවේ සෘජු කොටස්කරුවෙක් නොවුණත් මේ රජය බලයට පත් කරන්නට වෙහෙසුන සමාජ බලවේගයේ පංගුකාරයෙක්. ඒ පංගුකාරයෝම අද රජයට එරෙහි ජනතා අරගල මෙහෙයවන්නන් බවට පත්වෙලා… මෙහෙම වෙලාවක කවුරු හරි “දැන් සැපද…” කියා ජවිපෙන් ඇහුවොත්…?
පිළිතුර – මීට පෙර මේ රටේ ආණ්ඩු කළ කණ්ඩායම ගත්තත් මේ දැන් ආණ්ඩුව කරමින් සිටින කණ්ඩායම ගත්තත් ඒ කවුරුවත් ජනතාවට මහ දුකක් විපතක් මිස සැපක් නොගෙනෙන බව අපි පැහැදිලිවම දන්නවා. අපි වෙනස් දේශපාලන මතයක් දරන වෙනස් දේශපාලන ගමනක් සහිත පැහැදිලි දැක්මක් සහිත දේශපාලන පක්ෂයක්. ඒ නිසා අපිට මහින්ද ගත්තත් රනිල් ගත්තත් මෛත්‍රී ගත්තත් මේ කොයි කවුරුත් අපිට වෙනසක් නෑ. අපි පක්ෂයක් විදියට මේ සරල සත්‍යය දැනගෙන හිටියට මේ රටේ බහුතර ජනතාව ඒක දැනගෙන හිටියේ නෑ. ඒ නිසා ඒ අයට ඒa වෙලාවේ වෙනසක් උවමනා වුණා. ඒ වෙනස ජනතාව කළා. නමුත් අර පරණ ක්‍රමය වගේම මේ ක්‍රමයත් සැපක් නොවෙයි, දුකක්ම තමයි කියලා අපි දන්නවා.
ප්රශ්නය – රාජපක්ෂ පාලනය වෙනස් කරන්නත් ඒ වෙනුවට මෛත්‍රී යුගයක් ඇති කරන්නත් ජ වි පෙ අනියමින් ජනතාවට පාර පෙන්නුව බව ප්‍රතික්ෂේප කරන්න අද ඔබලාට බැහැ. ඒ කියන්නේ ජවිපෙ ජනතාව නොමග යෑව්වා. ඒ නිසා අද ජනතාව ජනතා විමක්ති පෙරමුණ ප්‍රතික්ෂේප කරන්න පටන් අරන් කියලා අපි යෝජනා කළොත්…?
පිළිතුර – මෙහෙම බලමුකෝ… පසුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂලා පරාජය කරන්න ඕනය කියන තැන අපි හිටියා තමයි. අපි එහෙම ස්ථාවරයක නොසිටියාය කියමු. එහෙම වෙලා මහින්දලා දින්නා නම් ඔබ අහවි… මහින්දට බලයට එන්න ඔබලා ඉඩ ඇරියා, “දැන් සැපද” කියලා. ඇත්තටම ඔය දෙකම සැප නෑ කියලා අපි දන්නවා. ඒවගේම දේශපාලනයේදී අපි කාත් එක්ක හරි මැදිහත් වෙලා කටයුතු කරනවා නම්, දේශපාලනය කරනවා නම් අපේ යටින් ගේම් නෑ. ඩීල් නෑ. මේ රටේ දේශපාලනයේදී තීරණාත්මක අවස්ථාවල අපි මැදිහත්වෙලා රටේ යහපත වෙනුවෙන් උපක්‍රමශීලී ලෙස කටයුතු කරපු තැන් තියෙනවා. පරිවාස ආණ්ඩුව, සන්ධානය, මහින්දලා සමඟ ගිය සම්මුතිය වගේ දේවල් මතක ඇති. අපි වැඩ කරන්නේ එහෙමයි. යටින් වැඩ අපි ළඟ නෑ. ඒ ජනාධිපතිවරණයේදී අපි කළේ මේ ක්‍රමය වැරැදියි, මේකට විකල්පයක් අවශ්‍යයි කියන එක පෙන්නලා දීපු එක විතරයි. විකල්පය හොයා ගත්තේ ජනතාව. දැන් ඔබ අහනවා මහින්දව පරාජය කරන්නය කියලා අපි කියපු නිසා අපේ ජන්ද පදනම අඩු වුණාද කියලා…නෑ… ඡන්දදායකයා කියන කෙනා සදාකල් එකතැන රැඳෙන කෙනෙක් නොවෙයි. එක දවසක එයා එ. ජා. පයේ ඉන්නවා. තව දවසක එයා ශ්‍රීල. නි.පෙ. ඉන්නවා. තව දවසක අපි ළඟ ඉන්නවා. ඉතින් ජනතාව දැන් මේ කියන දෙගොල්ලො ළඟම හිටියා. දෙගොල්ලොම වැරැදි බව දැන් ඔවුන් දන්නවා. දැන් ජනතාව අපි දිහාට හැරිලා අපි කියන දේවල් අහන්න පටන්ගෙන තියනවා. උනුත් හොරු මුනුත් හොරු හැබැයි
ජ. වි. පෙ. ඉන්නේ හොරු නොවෙයි කියලා තේරුම් අරගෙන මිනිස්සු දැන් අපිට බුරුතු පිටින් ඇහුන්කන් දෙන්න පටන් අරන්…. ඒ ඇහුන්කන් දෙන අය ඡන්ද බවට පෙරළෙන්න තව කලක් යාවි තමයි….
ප්රශ්නය – ඔව්… ඒක වෙන්න ඇති වරක් බදුල්ලේ ප්‍රාදේශීය දේශපාලනඥයෙක් ඔබට අභියෝග කළේ… ඔබලාට ඉන්නේ රසිකයෝ… ප්‍රේක්ෂකයෝ… හැබැයි ජ වි පෙ කතා අහන් ඉඳලා ඇවිත් ඔවුන් ඡන්දය දෙන්නේ අපිට කියලා…?
පිළිතුර – ඕක ඔය වෙන කවුරුවත් කියපු එකක් නොවෙයි… මමම කියාපු කතාවක්. අපි ඒ රසිකයෝ ගැන හරි සතුටුයි. අපිට ඉස්සර රසිකයෝ, ප්‍රේක්ෂකයෝ හිටියේ නැහැ. දැන් ඉන්නවා. ඒ අය අද අපේ කතා අහනවා. මේ රසිකයෝ ඉතා ඉක්මනින් අපේ ඡන්දදායකයන් බවට පත්වෙන බවත් අපි දන්නවා. බීජයක් පොළොවේ හිටෙව්වාම ඒ බීජය පැළවෙලා ගහක් බවට පත්වෙලා ඵල දරන්න කාලයක් ගත වෙනවාමයිනේ. ඉතින් ඒ කාලය අපි ඉවසිය යුතුයි. ඒ සඳහා කැපවී වැඩ කිරීමයි අවශ්‍ය…
ප්රශ්නය – පසුගිය කාලේ ආණ්ඩු හදාදීලා නැතිවුණ මහජන විශ්වාසය, ආකර්ෂණය නැවත දිනා ගන්න ජනතා විමුක්ති පෙරමුණ දැන් කැපවී වැඩ කරන බව පේනවා. සයිටම්, උමා ඔය වැනි මහජන සටන් වල, බහුජන ව්‍යාපාර වල, වීථි සටන් වල ජ. වි. පෙ. දැන් ආයෙත් කැපී පෙනෙන්න පටන් අරන්. ඒත් කොච්චර කලක් යයි ද නැතිවුණ මහජන විශ්වාසය නැවත දිනා ගන්න…?
පිළිතුර – වැරැදි මතවාදයන්ට ගොදුරු වුණ රටක, මිථ්‍යාවන්ට ගොදුරු වුණ රටක නිවැරැදි සමාජ මතයක් වෙනුවෙන් සටනක් කරන එක, ගමනක් යන එක ලේසි නෑ. ඒ වගේම ඉක්මනින් කරන්න පුළුවන් දේකුත් නොවෙයි. මේක දුෂ්කරයි තමයි. පහසු මාර්ග වල, ඉක්මන් මාර්ගවල ගිහිල්ලා රටක් ලබපු ජයග්‍රහණයක් ලෝකෙ නෑ. මෙතුවක් කල් ගියපු පහසු මාර්ග වලදී අපි බොහෝ දේවල් නැති කරගෙන තියෙනවා. අපේ ආර්ථිකය විනාශ කරගෙන තියෙනවා. අපේ හර පද්ධතිය නැති කරගෙන තියෙනවා. පරිසරය විනාශ කරගෙන තියෙනවා. ජාතිවාදය ආගම්වාදය වපුරගෙන තියෙනවා. හුඟක් දේවල් අහිමි කරගෙන තියෙනවා. විනාශ වෙලා තියෙනවා. මේ හැම දෙයක්ම වුණේ අපි කෙටි පාරවල් පහසු මාර්ග සොය සොයා වෙහෙසුන නිසයි . ඒක හින්දා අමාරු වුණත් අපහසු වුණත් දුර වුණත් කල්ගත වෙනවා වුණත් ඔය කියන සමාජ සටන්වලට නායකත්වය දෙමින් ඒ සටන් නිවැරදි හරි මාර්ගය ඔස්සේ ගෙනයන එකයි ජ.වි. පයේ වගකීම.
ප්රශ්නය – ජනතාව නම් කියන්නේ වෙන කතාවක්… පසුගිය කාලේ ආණ්ඩු හදන්න වැඩ කරලා වරද්දාගෙන ජනතාව අතර පිරිහීමට ලක්වෙලා දේශපාලනමය වශයෙන් එල්ලෙන්න වැලේ වැල් නැතිව හිටපු ජ.වි. පෙට ආණ්ඩුව “සයිටම් – උමා ඔය” වගේ හොඳ වැල් දෙකක් එල්ලෙන්න ලබාදී තියෙනවා කියලයි ජනතාව කියන්නේ…?
පිළිතුර – සමහර විවේචකයන්ට මේවා වැල් විදියට පේන්න පුළුවන්. හැබැයි ඒවා විවේචකයන් එල්ලෙන වැල් මිසක අපි එල්ලෙන වැල් නම් නොවේ. අපහාසවලට එකතුවෙන්නේ නැතිව ජනතා විමුක්ති පෙරමුණේ සටන් ඉතිහාසය විමසා බලන්න. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය කියලා කියන්නේ අපේ සටන් ඉතිහාසය අනුව අලුත් දෙයක් නම් නොවෙයි. 80 දශකයේ උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය ආවේත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් විදියට තමයි. ඒ යෝජනාව පරාජය කරලා රටේ නිදහස් අධ්‍යාපනයට තවත් වෛද්‍ය විද්‍යාලයක් උරුමකර දුන්නේ මේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරය හා ජ.වි.පෙ. සටන්කාමීත්වය තමයි. ඒ කාලේත් අපි මේ සටන්කාමීත්වයේම හිටියනේ. ඉතින් අද මේක අමුතු වැලක් වෙන්නේ කොහොමද….
අනිත් එක උමා ඔය ගනිමුකෝ… මේ රටේ පරිසර අමාත්‍යාංශයක් කියලා දෙයක් නොතිබුණ යුගයක, පරිසරවේදීන් කියලා ජාතියක් නොසිටිය යුගයක 1970 හයිඩ් පාක් පිටියේ රැස්වීමක් තිබුණා. අන්න ඒකෙදි තමයි විඡේවීර සහෝදරයා අධිරාජ්‍යවාදීන් ඇවිල්ලා මධ්‍යම කඳුකරයට සිදුකරපු විනාශය ගැන විග්රහයක යෙදෙන්නේ. මධ්‍යම කඳුකරයේ තට්ටේ ගාලා තේ හිටවලා කරපු විනාශය පස්සේ අපිවත් නිවැරැදි නොකළොත් දශක දෙක තුනක් ඇවෑමෙන් කඳු කඩාවැටිලා නාය ගිහිල්ලා ජනතාව ගම්පිටින් පස් කඳු අතර වැලලිලා යයි කියලා විඡේවීර සහෝදරයා කිව්වේ අද ඊයේ නොවෙයි. ඉතින් කොහොමද මේ පරිසර ප්‍රශ්න අපිට අමුතු වැල් වෙන්නේ. උමා ඔය පටන් ගන්න කොටම අපි එහි වැරැදි හඳුනාගෙන ඊට විරුද්ධ වුණා. 2007 සිට අපි මහින්ද මහත්තයට චමල් මහත්තයට කිව්වා මේ විනාශය නවත්තන්න කියලා. ඒවා පාර්ලිමේන්තු හැන්සාඩ් වල ඇති. එහෙම කියලා කියලා හරි යන්නේ නැති තැන තමයි අපි හැදුවේ උමා ඔය සුරැකීමේ සංවිධානය. අපි විරුද්ධ වුණා, සටන් කළා. උසාවි ගියා. ජනතාව මේවා දන්නවා. අන්තිමේ ගිය රජයත් මේ රජයත් මේක කරන එක නතර කළේ නෑ. විනාශයේ තරම බරපතළ වනවිට තමයි අපි උමා ඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා ව්‍යාපාරය හදාගෙන ඒ ඔස්සේ මේ සටන ගෙනයමින් ඉන්නේ. සටන සාර්ථකයි. ඒ නිසා තමයි අපේ විරුද්ධවාදී බලවේග අද කලබල වෙලා අපිට මඩ ගහන්න පටන් අරන් තියෙන්නේ.
ප්රශ්නය – උමා ඔය බේරා ගැනීමේ සටන් පෙරමුණේ අද රටේ කැපී පෙනෙනම චරිතය ඔබයි. ඔබ අද ගොඩක් මේ ගැන කතා කරනවා. තරහ නැතුව කියනවද සමන්ත විද්‍යාරත්න කියන ඔබගේ විශේෂඥ දැනුම් ක්ෂේත්රය මොන පැත්තටද විහිදිලා තියෙන්නේ කියලා…?
පිළිතුර – මම දන්නවා ඔය මොකටද එන්න හදන්නෙ කියලා. මෙහෙමයි… උමා ඔය ගැන අපි තුළ තියෙන දැනුම හා අපි පළ කරන මතය මේ රටේ අද්විතීය උගතුන් කිහිපදෙනකුගේ දැනුම් සම්භාරය මතින් පෝෂණය වුණ මතයක්. ඒ වගේම දැනුම් සම්භාරයක්. අපේ රටේ අද්විතීය භූ ගර්භ විද්‍යාඥයන් වන මහාචාර්ය ජිනදාස කටුපොත, මහාචාර්ය ප්‍රේමදාස ලියනාරච්චි, මහාචාර්ය නිශාන්ත සකලසූරිය ඇතුළු විද්වතුන් පරිසර විද්‍යාඥ මහාචාර්ය රනිල් සේනානායක, දිවංගත පරිසරවේදී පියල් පරාක්‍රම ආචාර්ය ජගත් ගුණවර්ධන ආදී පරිසරවේදීන් හා සමාජ විද්‍යාඥයන් ගණනාවක් අපේ විශේෂඥ දැනුම් සම්භාරය පුළුල් කරන්න දායක වෙලා ඉන්නවා. ඒ වගේම අපි සමාජයේ වැඩ කරලා කඳු පල්ලම් පයින් ගිහිල්ලා ඇවිදලා මහ ජනතාව සමග බද්ධ වෙලා ඇතිකර ගත්ත පන්නරයත් අපි සමඟ තියෙනවා. ඉතින් විවේචනය නම් පහසු නැතිවෙයි.
ප්රශ්නය – හරි… කෙලින්ම කියන්න බලන්න මේ ව්‍යාපෘතියට කවරක් කරන්න කියලාද ඔබලා යෝජනා කරන්නේ… මේ තරම් වියදම් කරලා මේ තරම් දුර ඇවිල්ලා මෙය නතර කරන්න කියලාද ඉල්ලීම…?
පිළිතුර – ඔව්… අපි මේක මුල ඉඳලාම පෙන්වා දුන්නා රජයට… මේක බහු විනාශකාරි ව්‍යාපාරයක්. මේක කරන්න එපා… ඇහුවද… නෑ. ඔන්න පටන් ගත්තා. මම මේකත් කියන්න ඕන. ඔය වැල්ලවාය, මොණරාගල, බුත්තල, තණමල්විල පැත්තේ ඉන්න සහෝදර ජනතාවට වතුර ප්‍රශ්නයක් තියෙනවා. අපි වතුර දිය යුතුයි. නමුත් මේ කියන මධ්‍ය කඳුකරයේ මේ ව්‍යාපෘතිය කරන ඉසව්වේ අභ්‍යන්තර පාෂාණ පද්ධතිය උමං මාර්ගවලට හරියන්නේ නෑ. අපි උඩින් හෝ වෙන මගකින් හෝ වතුර ගෙනියමු. මේකනම් කරන්න එපා කිව්වා… ඇහුවද… නෑ දැන් කරන්න දෙයක් නෑ.. කරගෙන ගිහින් මැදදි ඇන ගත්තා. දැන් මේ වෙලාවේ කරන්න ඕන දේ තමයි වහාම අර මධ්‍යම කඳුකරයේ අභ්‍යන්තර හදවතින් වෑස්සෙන ඒ මහා දිය කාන්දුව වහන්න ඔන. දවසකට වතුර ලීටර් විසිදෙකෝටි ගණනක් මේ උමග ඔස්සේ එළියට එනවා. ඒක මොන ක්‍රමයකින් හරි වහන්න ඕන. ඊළඟට මේ කඳුකරයේ නැඟෙනහිර බෑවුමේ පන්සල් පල්ලි කෝවිල්ද ඇතුළුව නිවාස 7037 ක් විනාශයක අවදානමකට මුහුණදීලා තියෙනවා. මංමාවත් අවදානමට මුහුණ පා තියෙනවා. බණ්ඩාරවෙල නගරයේ එක් කොටසක් ගිලාබහිනවා. තව කොටසක් ඉරිතලලා විනාශවෙලා තියෙනවා. සිඳී ගිය ළිං දියකඳුරු ජල පහරවල් පොකුණු 3112 යි. අක්කර දහස් ගණනක් වගා බිම් අතහැරිලා. රැකියා දස දහස් ගණනක් නැතිවෙලා. ඒ තමයි මතුපිට විනාශයේ තරම. නමුත් අභ්‍යන්තරයේ වුණ විනාශයේ තරම තවම කවුරුවත් ගණන් බලලා නෑ. මේ ගැන අපි දීර්ඝ වාර්තාවක් හදන් ගිහිල්ලා ජනාධිපතිතුමා හමුවෙලා විසඳුමක් ඉල්ලුවා. අපි ඉල්ලුවා විශේෂඥ දැනුමින් යුතු ජනාධිපත් කොමිසමකින් විසඳුමක් සොයන්න කියලා. ඊළඟට අපි ඉල්ලුවා මේ භූ අභ්‍යන්තරයට වී ඇති හානිය වෙනම විද්වත් කමිටුවකින් හොයලා විසඳුම් සොයන්න. අපිට තිබුණ තත්ත්වයට ආපසු යන්න බැරි බව දන්නවා. ඒ නිසා අපි හැකි අවම විසඳුමට යන්න බලමු කියලයි අපි යෝජනා කළේ.
ප්රශ්නය – මේ ව්‍යාපෘතිය ඇ. ඩො මි. 548 ක් හෙවත් රුපියල් කෝටි 7632 වැයවන වැඩක්. ව්‍යාපෘතියේ වැඩත් විශාල ප්‍රමාණයක් කරලා ඉවරයි. මේ තරම් විශාල වියදමක් කළ පසු මෙය අතරමඟ නතර කර දමන්න කියා යෝජනා කිරීමෙන් කාටද ප්‍රයෝජනයක් තියෙන්නේ…?
පිළිතුර – අපි කොච්චර සුqවිසල් වියදමක් කළත් වැඩක් නෑ ඒ වියදමට වඩා සිද්ධවෙන හානිය බරපතළ නම්. මෙතන එහෙමයි. පරිසරය සල්ලිවලින් වත් වියදමෙන් වත් තක්සේරු කරන්න බෑ. අපිට සල්ලි හොයන්න පුළුවන් නමුත් කඳු හොයන්න බෑ. අපිට සල්ලි ණයට ගන්න පුළුවන්… ඒත් උල්පත් ණයට ගන්න බෑ. මෙන්න මේක අපි තේරුම් ගන්න එපායෑ. අනිත් එක මේ ව්‍යාපෘතියම මුල ඉඳලම අසමත්. මේකෙන් මහා දැවැන්ත සේවයක් බලාපොරොත්තු වෙනවා. නමුත් අපේ කඳුකරයේ නැගෙනහිර වියළි බෑවුමේ තියෙන ඊසානදිග මෝසමින් වැස්ස ලැබෙන මෙම ව්‍යාපෘතිය ඇතුළේ ඔය තක්සේරු කරන තරම් මහ විශාල දිය කඳක් නෑ…. මේක නොරච්චෝලෙට එහා ගිය නාස්තිකාර පාඩු ලබන ව්‍යාපෘතියක් මිස සම්පතක් නොවෙයි.
ප්රශ්නය – හරි… ඕගොල්ලො කියන විදියට මේ උමා ඔය ව්‍යාපෘතියම නතර කරලා උමගත් හැකි විදියකින් වහලා ඉවරයක් කළා කියමුකෝ… අර දිය හිඳිච්චි ළිංවලට වතුර එයිද… බණ්ඩාරවෙල ඉරිතලා ගිය නිවාස, ගොඩනැඟිලි ඔක්කොම පරණ තත්ත්වයට ගන්න පුළුවන් වෙයිද…?
පිළිතුර – ඒක ඔබටවත් මටවත් කියන්න නිශ්චිතව පුළුවන් කාරණාවක් නොවෙයිනේ. කඳු අභ්‍යන්තරයේ තත්ත්වය නොදැන අපිට අනාවැකි කියන්න බෑ. ඒකයි අපි කියන්නේ මේ ලෝකයේ ඉන්න ඉහළම උගතුන් හරි ගෙන්නලා මේ ගැන පුළුල් අධ්‍යයනයක් කරලා බලන්න කියලා. තාක්ෂණය දියුණුයි. හොඳ පර්යේෂණයක් කළෝතින් නිවැරැදි ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. කොච්චර වියදම් කළත් කොච්චර පාඩු ලැබුවත් කරන්න දෙයක් නෑ… පරිසරයට රටට අහිතකර නම් අපට සිදුවෙනවා මේක ගිය වියදම ගැන නොසිතා නවතා දමන්න. එහෙම කරපු ඒවා ගැන ලෝකේ උදාහරණ ඕනෑ තරම් තියෙනවා. ලියනවා නම් මම ඒවා ගැනත් කියන්නම්.
ප්රශ්නය – මම ඒ ප්‍රවේශය ගත්තේ ඔබලාට තියෙන තවත් බරපතළ චෝදනාවක් ගැන කතා කරන්න. අද අපේ රටේ ඉන්න සමහර දේශපාලන නිරීක්ෂකයන් දකින විදියට රට හමුවේ තියෙන භයානකම ප්රශ්නය තමයි මේ ආණ්ඩුව බෙදුම්වාදී කණ්ඩායම්, දෙමළ ඩයස්පෝරාව හා ඔවුන්ට උදව් කරන විජාතික බලවේග සමග එක්ව රහසිගතව සැලසුම් කරන නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව.ඒ කෙරෙහි ජනතාවගේ අවධානය යොමු නොවන්න රජය උපක්රමශීලීව වෙන වෙන ප්‍රශ්න සමාජයේ ඔද්දල් වෙන්න හැර තිබෙනවා. ජ වි පෙත් අද ඒ ප්‍රශ්න කරට අරන් යමින් ජනතාවට රටට තියෙන ප්‍රධාන ප්රශ්නය මගහැර රජයට උදව් කරන බවයි චෝදනාව…?
පිළිතුර – මම ඒ චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. අපේ රටේ ඉන්න සමහර දේශපාලන බලවේගවලට අවශ්‍ය වෙලා තියෙනවා එයාලගේ දේශපාලන න්‍යාය පත්‍ර ඉස්සරහට දාලා ජනතා විමුක්ති පෙරමුණත් ඒ න්‍යාය පත්‍ර පසුපස අරගෙන යන්න. ඒක හරියන්නේ නෑ. අපිට හොඳ අපරාජිත චින්තනයක් නොසැලෙන මතවාදයක් මේ බලය බෙදීමේ යෝජනා සම්බන්ධයෙන් තියෙනවා. අපි ඉන්නේ එතන. අපිට අරම කියන අය හැමදාම තමන්ගේ වාසියට තම මතවාද වෙනස් කරලා තියෙනවා. ඔය මහින්දලා චන්ද්‍රිකාලා රනිල්ලා මෛත්රීලා ඒ ඔක්කොම සැරෙන් සැරේට මතවාද වෙනස් කරමින් බෙදුම්වාදයට පක්ෂව කටයුතු කරලා තියෙනවා. මේ රටේ ආරම්භයේ සිටම බෙදුම්වාදයට වගේම ජාතිවාදයටත් විරුද්ධ පක්ෂයක් හිටියා නම් ඒ ජනතා විමුක්ති පෙරමුණ විතරයි. යම්කිසි තැනක රට කඩන්න රට බෙදන්න යෝජනාවක් සැලැස්මක් ඇත්නම් ඊට එරෙහිව කටයුතු කරන්න ජ. වි. පෙ. පැකිලෙන්නේ නෑ. හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මේ තියෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටට ජනතාවට හිතකර නෑ. ඒක නිසා මේ තියෙන එකට වඩා ජනතාවට හිතකර ව්‍යවස්ථාවක් හදාගන්න අද අපට අවශ්‍යව තියෙනවා. අපි ඒක කියනකොට අපිව අර තැනට ලඝූ කරන්න හදන්න එපා. බෙදුම්වාදී ව්‍යවස්ථාවක් එනව නම් ඊට එරෙහිව මුලින්ම පාරට බහින්නේ අපි.
ප්රශ්නය – ඇත්තටම මේ ව්‍යවස්ථාව තාමත් බිල්ලෙක්නේ. ආණ්ඩුව කියන්නේ තාම ව්‍යවස්ථාව තබා කෙටුම්පතක් වත් හදා නැති බවයි. ඒ අතරේ සුමන්දිරන්ලා, ඒ වගේම මේ රජය බලයට ගේන්න උදව් කරපු රාජ්‍ය නොවන සංවිධාන මොකක්දෝ කෙටුම්පතක් ගැන කියවනවා. යෝජනා සමාජගත කරනවා. මේ ව්‍යාකූල තත්ත්වය ඇතුළේ ජවිපෙ වෙන වෙන සටන් කරමින් කාලේ වැය කරන්නේ ඇයි කියන ප්රශ්නය අපිට තියෙනවා…?
පිළිතුර – ඒක මේ රට අරාජික වීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක්නේ. මේ රටට අද රජෙක් නෑ. පාලනයක් නෑ. ඒ නිසා එක එක කණ්ඩායම් එක එක ඒවා කියවනවා. එක එක කණ්නාඩි වලින් සමහරු බලනවා. ඒ න්‍යාය පත්‍රවල ගිහිල්ලා කොයි වෙලාවක වත් රට ලාභ ලැබුවේ නෑ. නමුත් බලය ගත්ත අය ලාභ ලැබුවා. ඉතින් අපිට ඕන ජනතාවට ලාභ ලබාදෙන ක්‍රමයක් රටට ලබා දෙන්නයි. අපි එතනදී අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කරනවා. අපි බෙදුම්වාදයට ඉඩක් දෙන්නේ නෑ වගේම ඉන් මෙහා තිබෙන දැවෙන ප්‍රශ්නවලටත් ඉඩක් දෙන්නේ නෑ. ඒ නිසා සටන් පෙරමුණු කීපයක් ඔස්සේ අපි අපේ සටන කරමින් ඉන්නවා…
ප්රශ්නය – හැබැයි අපි තවම දැක්කේ නෑ ව්‍යවස්ථා විරෝධී සටනක් ඔබලාගේ සටන් ප්‍රමුඛතා ලැයිස්තුවේ තිබෙන බව…?
පිළිතුර – ඒක ඔබට නොපෙනුණා වෙන්න පුළුවන් ඔබ අපි දිහා බලන කෝණය වෙනස් නිසා. හැබැයි ඉදිරියේදී ඒ සටන අප තුළින් පේන්න ගත්තාම ඔබටත් අහක බලා ඉන්න බැරිවෙයි.
සාකච්ඡා කළේ
බුලිත ප්‍රදීප් කුමාර