උමා ඔය ගැන කියවිය යුතුම ලිපියක්
පොලව නුහුලන මේ අපරාධය කරන්නේ ඇයි ?
=====================================
පිදුරුතලාගල කදු මුදුනින් ආරම්භ වී වර්ග කිලෝමීටර 720 ක ද්‍රෝණියක් ආවරණය කරමින් රන්ටැඹේදී මහවැලි ගගට වැටෙන උමා ඔය දිගින් කිලෝමීටර 75 කි.
බොඹුරුඇල්ල ඔය , කුඩා ඔය ,මාතැටිල්ල ඔය ,මාදොළු ඔය ,හීල් ඔය ආදී විශාල අතු ගංගා ගණනාවකින් පෝෂණය වන උමා ඔය නිම්නය තුල මෙම ජල දහරාවේ ආධාරයෙන් අක්කර 100ට අඩු ප්‍රදේශයක් වගා කරන වාරි ව්‍යාපෘති 1024 ක් පිහිටා තිබේ.
අක්කර 500ට අඩු ව්‍යාපෘති 16 කි.
අක්කර 500ට වැඩි ව්‍යාපෘති ගණන 6 කි.
ඒ අනුව උමා ඔය ජලයෙන් සම්පූර්ණ අක්කර 27,622 ක භූමි ප්‍රමාණයක කෘෂිකාර්මික කටයුතු සිදු කෙරෙන බවට ගණන් බලා ඇත.
1968 දී ආරම්භ කල මහවැලි මහ සැලැස්මටද අයත් වාරි ව්‍යාපෘතියක් වන උමා ඔයේ තවමත් ඉදිකිරීමට නියමිත ව්‍යාපෘති ඇත.
රොටලවෙල ජලාශය සහ ජාතික විදුලිබල පද්දතියට මෙගාවොට් 25 ක ධාරිතාවක් එක් කරන උමා ඔය ඉහල විදුලි බලාගාරය සහ මෙගාවොට් 30 ක් නිපදවන උමාඔය පහල විදුලිබලාගාරය එලෙස යෝජිත ව්‍යාපෘති වේ.
මේ සියල්ල නිම කිරීමට නියමිතව තිබුණේ පිදුරුතලාගල සිට රන්ටැඹේ දක්වා ස්වභාව ධර්මයා විසින් දායාද කල මාර්ගය ඔස්සේ ගමන් කරමින් තිබූ උමා ඔය ඔස්සේය.
2005 වසරේදී බලයට පත් මහින්ද රාජපක්ෂ රජය මෙම ගමන් මාර්ගය වෙනස් කිරීමට තීන්දුවක් ගත් අතර රන්ටැඹේදී මහවැලි ගගට එකතු වන උමා ඔය ජල දහරාව වැලිමඩදී හරවා ඩයබරා ,බිදුණුවැව , අඹදණ්ඩේගම හරහා කිරිදිඔයේ අතු ගංගාවක් වන අලිකොට ආර දක්වා භූගත මාර්ගයකින් ජලය ගෙනයෑම ඔවුන්ගේ අභිප්‍රාය විය.
එම ව්‍යාපෘතියට තැබූ නම වූයේ උමා ඔය බහුකාර්‍ය ව්‍යාපෘතියයි.
වැලිමඩ පුහුල්පොලදී උමා ඔය හරස්කොටද , මාතැටිල්ල ඔය හරස්කොට ඩයබරාහීදීද ජලාශ දෙකක් ඉදිවන අතර පුහුල් පොල ජලාශයේ සිට ඩයබරා දක්වා භූගත උමගේ දිග කිලෝමීටර 4 කි.
ඩයබරා සිට බිදුණුවැව , අඹදණ්ඩේගම ගම්මාන යටින් කිලෝමීටර 15.2 ක් ගමන් ගන්නා ජල ප්‍රවාහය භූගත විදුලිබලාගාරයට එකතු වන අතර විදුලි බලාගාරයේ සිට පිටතට දමන ජලය තවත් කිලෝමීටර 3 ක් මහපොලව යටින් ගමන් කොට අලිකොට ආර හරහා කිරිදි ඔය නිම්නයට එකතු වේ.
2006 දී මෙහි මූලික ඇස්තමේන්තුව සකස් කල කැනඩාවේ ඩබ්ලින් සමාගම මෙයට ඇස්තමේන්තු කල මුදල වූයේ ඩොලර් මිලියන 155කි.
පසුව ඉරාන ණය ආධාර යටතේ ඉදිකිරීමට තීරණය කල මෙම ව්‍යාපෘතියට ඉරානය විසින් ඇස්තමේන්තු කල මුදල ඩොලර් මිලියන 548 කි.
රාජපක්ෂවරුන්ට ඩොලර් මිලියන 155 මදිවුණාද ??
ලංකාව ලෝකයාට ණය කරමින් කිසිදු පල ප්‍රයෝජනයක් නැති ව්‍යාපෘතියකට මුල පිරුවාට අමතරව තවත් වැඩිපුර ඩොලර් මිලියන ගනනක් කාගේ කාගේ සාක්කු වලට ගියාදැයි දැන් ඔබ වටහාගත යුතුය.
අවසානයේ වැඩි මුදලකට ඇස්තමේන්තු කල මෙම ව්‍යාපෘතියේ සිදුවන සහගහන මුදල් මංකොල්ලය දුටු එවකට සිටි වාර්මාර්ග අමාත්‍යංශයේ ලේකම් ඒ ඩී එස් ගුණවර්ධන මහතා පිටකොන්ද ඇති නිලධාරියෙක් ලෙස තව දුරටත් මෙම කොල්ලකෑම දෙස බලා නොඉද ඉල්ලා අස්වී ගෙදර ගියේය.
ඔහු මෙම වාරි ව්‍යාපෘතියට අනුමැතිය දීමට එකග නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර පරිසර ඇගයීම් වාර්තා සකස් කිරීම ලෝකයේ පිලිගත් ක්‍රමය වුවත් ලෝකයේ පිලිගත් ක්‍රම මෙම ව්‍යාපෘතියට අදාල නොවුණි.
ඉදිකිරීම් ආරම්භ කර කලක් ගතවන විට පරිසර සංවිධානවලින් එල්ලවන විරෝධය හමුවේ 2011 අප්‍රේල් 12 වන දා පරණ අවුරුද්දේදී පරිසර ඇගයීම් වාර්තාවක් නිකුත් විය.
ත්‍රිවිධ හමුදාව , පොලීසිය සහ රෝහල් හැරුණු විට අමාත්‍යංශද පරණ අවුරුද්දේ වැඩ කරන වග අප දැනගත්තේ එදාය .
සාක්කුවට ලැබෙන දොල පිදේනි වලට ප්‍රේත බැල්ම හෙලා සිටි අමනුස්සයින් විසින් මහජන ජීවිත අනතුරේ වැටීම තඹයකට මායිම් කර නොතිබිණි.
එදා ජවිපෙ වැනි දේශපාලන පක්ෂද පරිසර සංවිධානද මෙම ව්‍යාපෘතියට එරෙහිව මහා හඩක් නැගුවද එවකට තිබූ රජය එය සත පහකට ගනන් ගත්තේ නැත.
එයට මූලිකම හේතුව වූයේ ප්‍රදේශවාසී ජනතාවගේ වූ උදාසීන භාවයයි.
යුධ ජයග්‍රහණයත් සමග දේවත්වයට ආරෝපණයවී තිබූ රාජපක්ෂ නාමය ඉදිරියේ ජනතාවගේ මනස නිවුට්‍රල් වී තිබිණි.
එදා සමන්ත විද්‍යාරත්නලා ජනතාව දැනුවත් කිරීමට ගම්බිම්වලට යනවිට එම හඩට ඇහුන්කන් දෙන්නට බල්ලෙකුවත් සිටියේ නැත.
සමහර ගම්මානවලදී සමන්ත ඇතුළු පිරිසට හූ කියා එලවාගත් අතර එදා හූ කියූ ජනතාවම පහුගිය 28 දා බණ්ඩාරවෙලදී සමන්තට අත්පුඩි ගැසූ ආකාරය දෛවයේ සරදමකි.
ජනතාවට සුරංගනා ලෝක මවා තිබුණි….
ආසියාවේ ආශ්චර්‍ය දෑස් ඉදිරිපිට අලවා තිබුණි.
මිනිසුන් සිටියේ සිහිනයක් දකින අන්ධයින් ගාණටය.
2014 දෙසැම්බර් 26 පලමු ජල කාන්දුව උමග තුල සිදුවන විට මහපොලව උඩ සිටි සියලු දෙනාට ඇස් ඇරෙන්නට ගත්තේය .
එවිට උමග කිලෝමීටර 4 ක් හාරා තිබූ අතර උමග තුලින් තත්පරයට ලීටර 700 ක ජල දහරාවක් කාන්දු වෙන්නට පටන් ගත්තේය.
මදක් කල්පනා කර බලන්න.
ඔබගේ නිවසේ තිබෙන ජල ටැංකිය ලීටර 500 ක් නම් එය උමා ඔයේ ජල කාන්දුවට එවකට ඇල්ලුවා නම් පිරීමට ගතවෙන කාලය තත්පරයකටත් අඩුය.
මහපොලව අභ්‍යන්තරයේ තිබූ ජලය උමග තුලට කාන්දු වීමට පටන් ගත් පසු ළිං හිදෙන්නට විය , ගොවිබිම් වේලි ඉරිතලා ගියේය , නිවාස ගිලා බැස්සේය …
ජනතාවට සිදුවූ විනාශය දැනෙන්නට වූයේ එවිටය.
අද වනවිට උමා ඔය උමග තුල සිදුවන ජල කාන්දුව තත්පරයට ලීටර 2500කි.
ඒ අනුව දිනකට ලීටර මිලියන 222 කි.
මකුල් ඇල්ල පන්සල , එගොඩගම පන්සල, හීල් ඔය පන්සල , කුරුදුගොල්ල පන්සල , පල්ලේපේරුව මුස්ලිම් පල්ලිය වැනි පූජනීය ස්ථානද
මකුල් ඇල්ල පාසල , බණ්ඩාරවෙල අධිකාරම් පාසල , ධර්මාශෝක ජාතික පාසල වැනි අධ්‍යාපන ආයතනද නිවාස දහස් ගණනක්ද ඉරිතලා ගිලා බැස ඇත.
ජනතාව රාත්‍රියට නිදාගන්නේද , දරුවන් පාසලේ අකුරු කරන්නේද මාරයා හිස මත තබාගෙනය.
ඉරිතලා ඇති බිත්ති ඇද වැටී කොයි මොහොතේ ජීවිත හානියක් වේ දැයි කියන්නට දන්නේ උඩ ඉන්නා දෙවියන් පමණි
මේ හෙණ ගහන අපරාධය කලේ ඇයි ?
අප අහන එකම පැනය එයයි…..
සාක්කුවට වැටෙන ඩොලරයට ,යුරෝ එකට කෑදර කමේ උපන් නූපන් මහා දරු පරම්පරාවකට පෝෂණය වීමට තිබූ මධ්‍යම කදුකරයේ ජල දහරාව මෙලෙස විනාශ කලේ ඇය ?
මෙම ව්‍යාපෘතිය ආරම්භයේ සිටම අසාර්ථක ව්‍යාපෘතියකි.
එයට හේතුව කිරිදිඔය සහ උමා ඔය නිම්නය යන දෙකම ඊසාන දිග මෝසමෙන් වැසි ලෙබන ප්‍රදේශ දෙකකි.
එම නිසා කිරිදි ඔය නිම්නයට වැසි ලැබෙන විට උමා ඔය නිම්නයටද වැසි ලැබේ..
එම කාලයට කිරිදි ඔය නිම්නයේ පවතින හදපානාගල ජලාශය ආදිය වාන් දමයි…
මේ කාලයට උමා ඔයෙන් වතුර කිරිදි ඔයට ගෙනගියොත් සිදුවන්නේ විනාශයකි….
මොණරාගල සහ හම්බන්තොට ජනතාවට සිදුවන්නේ පීන පීන සිටීමටය.
අනෙක් කාලයට කිරිදි ඔය නිම්නයට පායන විට උමා ඔය නිම්නයද පෑවිල්ලට හසුවෙයි ..
දීමට වතුරක් උමා ඔයේ එම කාලයට නැත.
මෙම කාලකණ්නි ව්‍යාපෘති අනුමත කලේ ඇයි ?
ඊලගට තවමත් උමා ඔය හරවා නැති නිසා බත්මැඩිල්ල වැනි ගොවි ව්‍යාපාරවලට මෙම ප්‍රශ්නය දැනී නැත.
තවමත් උමා ඔයේ වතුර ලැබෙන බත්මැඩිල්ලේ මිනිසුන් ජූනි , අගෝස්තු , සැප්තැම්බර් මාසවල සිටින්නේ ජල හිගයට මුහුණ දෙමිනි.
උමා ඔය තිබියදී එලෙස නම් උමා ඔය හරවා වතුර නැතිවූ විට බත්මැඩිල්ලේ මිනිසුන්ට වෙන්නේ වහ කෑමටය.
උමා ඔය තබා අඩුම බදුල්ල දිස්ත්‍රික්කයවත් සියැසින් නොදුටු සමහරුන් කොලඹට වී තම දේශපාලන මති මතාන්තර අනුව මෙම ව්‍යාපෘතිය සාධාරණීකරනය කරනවා මෙම කාලයේ දැක ගැනීමට ඇත.
ඔවුන්ට ඇති ගැටලුව වන්නේ මෙම ව්‍යාපෘතියේ හානිය නොව තමන් කර තබාගෙන යන දේශපාලන පක්ෂය බේරා ගැනීමයි .
එමෙන්ම මෙම ව්‍යාපෘතිය හරහා හෝ ජවිපෙට පහර දීමයි.
මහත්වරුනි ජල අවශ්‍යතාවයට යූඇන්පී ,ශ්‍රි ලංකා ,ජේවිපී භේදයක් නොමැති බව ඔබ වටහා ගන්නේ කවදාද ?
රටට බත සපයන දැවැන්ත ගොවි ව්‍යාපාර අනතුරක් අභියස සිටියදී තමන්ගේ දේශපාලන කදවුරු වෙනුවෙන් මෙය සාධාරණීකරණය කරන්නේ ඔබ බත් කන අයෙක් නොවන නිසාද ?
මුලු මහත් මධ්‍යම කදුකරයම අනතුරට වැටුණු පසු ඔබ අප සියළු දෙනාගේම දරු පරම්පරාවන් අනතුරේ වග වටහා නොගැනීමට තරම් ඔබ නරුමද ?
කරුණාකර ඔබේ දේශපාලන මතය ඉවත හෙලන්න.
මේ විනාශය වටහා ගන්න.
මහපොලව සුරැකීමට දැගලීම ජේවීපීකාරයන්ගේ වැඩක් ලෙස නොදැක සියළු දෙනාගේ වගකීමක් ලෙස සිතන්න.
අප නැවත නැවතත් කියන්නේ…
ඔබ කැමති කෙනෙකුට ඡන්දය දෙන්න.
විනාශයට එරෙහිව එකට ඉන්න.
( From Ananda Sumith )