රාජපක්ෂ පාලනය අතුරුදන් කළ තරුණයින් දෙදෙනෙකු ලක්ෂ 10 බැගින් වන්දි
මහින්ද රාජපක්ෂ පාලනසමයේ මඩකළපුව පොලීසිය විසින් 2007 වසරේ ඔක්තෝම්බර් මස 03 වන දින අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනෙකු අතුරුදහන් කරවීමෙන් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (03) තීන්දු කර තිබේ. ඒ අනුව මෙලෙස මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ මඩකළපුව පදිංචි සෙල්වරාජා පුෂ්පරාණි, අන්නමලෙයි සෙල්වරාජා යන පෙත්සම්කරුවන්ට මුදලින් රු.ලක්ෂ 10 බැගින් හා වන්දි මුදල් ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් රජයට නියෝග කර ඇත.
පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ද්‍රවිඩ ජාතික තරුණයින් දෙදෙනා පසුව මුදාහළ බවට පොලීසිය ප්‍රකාශ කර තිබුණද, ඔවුන් අතුරුදහන් කර ඇති බවත්, එසේ අතුරුදහන් කිරීම තුළින් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දු කරන ලෙසත් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබිණි. පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, උපාලි අබේරත්න සහ අනිල් ගුණරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත්තේ පෙත්සම්කරුවන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව හා ඊට රජය වග කිව යුතු බවයි.
එසේම මඩකළපුව පොලීසියේ හිටපු ස්ථානාධිපති පී.එස් වික්‍රමසිංහ මහතාද , මෙම සිද්ධියට අදාළව වගකිව යුතු බැවින් රජය විසින් පෙත්සම්කරුවන්ට ගෙවිය යුතු රු.ලක්ෂ 10 බැගින් වන වන්දි මුදලට අමතරව පොලිස් ස්ථානාධිපතිවරයාගේ පුද්ගලික මුදලින් පෙත්සම්කරුවන්ට රු.50,000 බැගින් වන්දි ගෙවිය යුතු බවද විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත්කර තිබේ.