ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අර්ජුන් මහේන්ද්‍රන් ඒකාධිපතියෙකු ලෙස වැඩ කලා – මුදල් මණ්‌ඩලයේ සාමාජික මනෝරානී රාමනාදන්

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති වශයෙන් අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් තීන්දු තීරණ ගනු ලැබුවේ තනි කැමැත්තට බවත් ඔහු සෙසු නිලධාරීන් සමඟ සාකච්ඡා කොට අදහස්‌ විමසා එකඟත්වයකට පැමිණ තීරණ නොගත් බවත් මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ සාමාජික මනෝරානී රාමනාදන් මහත්මිය ඊයේ (06) භාණ්‌ඩාගාර බැඳුම්කර ජනාධිපති කොමිසම හමුවේ පැවසුවාය.

අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති තනතුරට පත් මුල් මාස කීපය තුළ මෙම තත්ත්වය නොවෙනස්‌ව පැවැති බවත් ඒ වන විට මුදල් මණ්‌ඩලයේ සිටියේ සාමාජිකයන් පස්‌දෙනාගෙන් තුන්දෙනෙක්‌ පමණක්‌ බවත් රාමනාදන් මහත්මිය කීවාය.

පසුව මුදල් මණ්‌ඩලයේ පුරප්පාඩු වී තිබූ ඉතිරි සාමාජිකයන් සම්පූර්ණ කරනු ලැබුවද ඒ වනතෙක්‌ම මහ බැංකුවේ මුදල් මණ්‌ඩලයේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය තුළ ප්‍රධාන භූමිකාව උසුලනු ලැබුවේ හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා විසින් යෑයි ද රාමනාදන් මහත්මිය කොමිසමට කීවාය.

2015-02-23 දින පැවැති මුදල් මණ්‌ඩල රැස්‌වීමේදී තිස්‌ අවුරුදු භාණ්‌ඩාගාර බැඳුම්කර නිකුතුවක්‌ සිදුකිරීමට කිසිදු තීරණයක්‌ නොගත් බව ද එසේම මේ දක්‌වා කිසිම අවස්‌ථාවක භාණ්‌ඩාගාර බැඳුම්කර සෘජු ක්‍රමයට නිකුත් කිරීම නැවැත්වීමට මුදල් මණ්‌ඩලය විසින් තීරණයක්‌ ගෙන නැති බව ද කොමිසම හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රාමනාදන් මහත්මිය කීවාය.

මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එම්. එස්‌. සමරතුංග මහතා මුදල් මණ්‌ඩලය තුළ ක්‍රියාකාරී සාමාජිකයෙක්‌ නොවන බව ද 2015.02.27 දින බැඳුම්කර නිකුතුව ගැන මහජන කතාබහක්‌ ඇති වූ බව තමා දැනගත් නමුත් ඒ ගැන පරීක්‍ෂණයක්‌ කළ යුතු බවට තමා හෝ සමරතුංග මහතා හෝ යෝජනාවක්‌ නොකළ බව ද ඇය කියා සිටියාය.