හෙට වෛද්‍ය වැඩ වර්ජනය පැය 24 දක්වා දීර්ඝවෙයි – පෞද්ගලික සේවාවලින්ද ඉවත්වේ.
සයිටම් ගැටළුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් සම්බන්ධයෙන් රජයේ වෛද්‍යවරුන් හෙට(22) උදෑසන සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර අැති වැඩ වර්ජනය, කලින් ප්‍රකාශයට පත් කෙරුණු වරුවක වැඩවර්ජනය පැය විසි හතරක් දක්වා දීර්ඝ කරන බවයි.
වැඩවර්ජන කාලය තුළ පෞද්ගලික වෛද්‍ය සේවාවලින්ද ඉවත් වීමටද වෛද්‍යවරුන් තීරණය කර අැත.
කරුණු කිහිපයක් සඳහා විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මෙම වර්ජනය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙන අතර එම කරුණු පහත පරිදි වේ,
1. නීති විරෝධි සයිටම් ආයතනයට විරුද්ධව උද්ඝෝෂණය කළ විශ්ව විද්‍යාල සිසුන්ට රජය විසින් මිලේච්ඡ ලෙස පහර දී තුවාල සිදු කිරීම හා අත් අඩංගුවට ගැනීම.
2. වෛද්‍ය සභාවට බෝම්බ ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියට වගකිව යුතු පුද්ගලයින් මෙතෙක් අත්අඩංගුවට නොගැනීම.
3. හිටපු සයිටම් ආයතනයේ විධායක නිලධාරියා හා සම්බන්ධ වෙඩි තැබීමේ ජවනිකාවට අදාල චූදිතයන් හට නීතිය ක‍්‍රියාත්මක නොකිරීම.
4. වෘත්තීය සමිති නායකයින් මර්දනය කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළවෙළ.
5. සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සයිටම් ආයතනයේ පරිහරණය සඳහා රජයේ රෝහල් භාවිතා කිරීමට අවසර දීමට විරුද්ධව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් අල්ලස් හා දුෂණ කොමිසමට සහ පොලීසියට කළ පැමිණිලි වලට අදාලව විධිමත් පරීක්ෂණයක් නොකිරීම.
ඉහත ගැටළු සඳහා සාධනීය ප‍්‍රතිචාර දැක්වීම හිතාමතාම මඟ හරින බලධාරින් මෙම වැඩ වර්ජනයෙන් රෝගී ජනතාවට වන බලපෑම පිළිබඳ වගකීම භාර ගත යුතු බව අවධාරණය කරන බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. .