ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02Slider

මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවේ ගෙවුණු දෙවසර ගැන කෙටි විශ්ලේෂණයක්…!

2015 ජනවාරි 08 වැනිදා සිදුවූ ආණ්ඩු මාරුවට උපස්ථම්භක වුණු තත්වයන් දිගින් දිගට ම විශ්ලේෂණය කරන්නට මේ ලියැවිල්ල ඉදිරියේ දී යොදා නොගැනෙයි. මෙහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ ආණ්ඩු බලය සියතට ගත් රනිල්-මෛත‍්‍රී ආණ්ඩුවෙහි දෙවසරක ගමන් මග පිළිබඳ කෙටි විශ්ලේෂණයක් කිරීම ය.

ජනප‍්‍රිය මාධ්‍ය අවකාශයේ හැඳින්වෙන පරිදි වත්මන් ආණ්ඩුව ‘යහපාලන ආණ්ඩුව’ ලෙසින් හඳුන්වන්නට අප නොකැමැත්තෙමු. එකී නාමකරණය ලබන්නට තරම් යහපාලනයක් ඔවුන් ක‍්‍රියාත්මක කර නැති බැවිනි. එනිසා එයට වඩාත් සුදුසු නාමකරණය ‘මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව’ නම් වෙයි.

මහින්ද රාජපක්ෂ රෙජිමය යටතේ ජාතිවාදයෙන්, පවුල්වාදයෙන්, ගෝත‍්‍රවාදයෙන්, ආගම්වාදයෙන් බැටකෑමේ අන්තය වෙත ශ‍්‍රී ලංකාව ඇදෙමින් තිබුණි. විතර්ක මර්දනය කැරුණේ අවියෙනි. රාජ්‍ය ආරක්ෂක ලේකම්වරයා වූ ජනපති සොයුරු ගෝඨාභය නොමනා ලෙස විනය විරෝධී ලෙස සේ ම ආයතන සංග‍්‍රහ විරෝධී ලෙස ඍජුව දේශපාලනයේ යෙදුණේ ය. ඔහුගේ ක‍්‍රියාකලාපයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විවේචනය කළ සමහර මාධ්‍යවේදීන් තවමත් අතුරුදහන් ලැයිස්තුවේ ය. තවත් සමහරු හඳුනානොගත් ඝාතන ලැයිස්තුවේ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා උද්ඝෝෂණයන්ට හමුදාව ලවා වෙඩි තබන ලද්දේ ය.
මෙසේ මේ ලැයිස්තුව තව තවත් දිග්ගස්සන්නට හැකි මුත් අප මුඛ්‍ය පරමාර්ථය වෙත එළැඹෙමු.

මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකත්වය ලබාගෙන ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය ‘මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක්’ යනුවෙන් හඳුන්වනු ලැබී ය.

නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව වන කතිකාව ඉස්මත්තට පැමිණ තිබුණු අතර ජනවරම ලැබුණේ එය මූලික කරගනිමින් බව නොකියමනා ය. උක්ත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි, මුල්ම කොටස වෙන් කර තිබුණේ ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ය. මේ වත්මන් ජනපති මෛත‍්‍රීගේ එවක වචනයි.

‘ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් සහිතව සම්මත කිරීම සඳහා නායකත්වය ලබා දිය යුතුව ඇත්තේ ජනාධිපතිවරයා විසින්ය. මා මෙවර ජනාධිපතිවරණයට රටේම ජනතාවගේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට තීරණය කළේ මෙම කර්තව්‍යය සම්පූර්ණ කරලීම සඳහාය.’
–    මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක් (13 පිටුව*

විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කිරීම සහ මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම මෙහි 14 සහ 15 වැනි පිටුවල සඳහන් කර ඇති කාරණා ය. අනුශාංගික වශයෙන් ඇමති මණ්ඩලය සීමා කිරීම ආදී බොහෝ කාරණා ද ඇතුළත් ව තිබුණි.

වසර දෙකක් ඉකුත් ව ඇති මේ මොහොතේ සිදුව ඇත්තේ කුමක් ද?

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන විධායකයක් නිර්මාණය කැර ගැනුණේ නැත. කණින් කොනින් ඇසෙන්නේ මෛත‍්‍රීපාල සිරිසේන වත්මන් ජනාධිපතිවරයා නැවත ජනපතිවරණයට ඉදිරිපත්වන බවකි.

මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම විෂයෙහි සිදුව ඇත්තේ කුමක් ද? එය ද එක තැන පල්වෙමින් ඉදිරියට නොයන තත්වයක් පෙන්නුම් කෙරෙමින් තිබේ. ආණ්ඩුව මේ විෂයෙහි ඉතාමත් උදාසීන ආකල්පයක් දක්වන බව පැහැදිලිව පෙනී යන්නකි. පෙනෙන්නට ඇති පරිදි ව්‍යවස්ථා සංශෝධනය වැනි ඇ`ග පත රිදෙන කටයුත්තකට ආණ්ඩුව එළැඹෙන්නට අකැමති සේ ය. ව්‍යවස්ථා සම්පාදනයක් සම්බන්ධයෙන් දැනුම්වත්ව තිබෙන්නේ ජනතාවගෙන් 1% වැනි සුළු පිරිසක් වීම මේ බව වඩාත් තහවුරු කරයි. ව්‍යවස්ථාවක් ගැන කතා කළ සැනින් ජාතිවාදී බලවේග එය පළිහක් කරගනිමින් රට බෙදනවා යැ යි මොරගසන්නට පටන් ගනිති.

අවසානයේ ජනමත විචාරණයක් සඳහා ආණ්ඩුව එළැඹෙන්නේ මේ නොදැනුම්වත් ජනතාව වෙත ය. මහජන අදහස් විමසීම පිණිස නීතිඥ ලාල් විජේනායක මහතාගේ නායකත්වයෙන් පත් කළ කමිටුවට ලබා දුන්නේ ද මාස තුනක් වැනි අතිශය කෙටි කාලයකි. එකී කමිටු වාර්තා සමබන්ධයෙන් ද ආණ්ඩුව බැල්මක් යොමන බවක්වත් දකින්නට නොලැබෙයි.

දෙවැනුව රටෙහි ආර්ථික නංවාලීම පිළිබඳව දුන් පොරොන්දු ය.

රටේ සිදු වූ මෙගා දූෂණය නවතාලීම මඟින් පමණක් පසුගිය වසර හය තිස්සේ සිදු වූ සංවර්ධනය මෙන් දස ගුණයක සංවර්ධනයක් රටට ලබාදීමටකටයුතු කරන්නෙමි.’
–    මෛත‍්‍රී පාලනයක්-ස්ථාවර රටක් (16 පිටුව*

යනුවෙන් අරඹා ඇති පොරොන්දු ගණනාවක් වුවත්, රටෙහි ආර්ථිකය හරි පිහිල්ලකට ගන්නට ආණ්ඩුව සමත්වී ඇත්තේ නැත. මුදල් අමාත්‍යවරයා නොරටින් සම්මාන ලැබුව ද රටෙන් ලබන්නේ අවමාන ය. මේ සියල්ල අතර මහ බැංකු බැඳුම්කර සිදුවීම වැන්නක් සියල්ලට ඉහළින් පෙනය පුප්පාගෙන සිටියි. ආර්ථිකය තවමත් ජනතාව මත බදු බර පැටවීමකින් එහාට ගිය දැක්මක් ගෙන ඇත්තේ නැත. 2015 පෙබරවාරියේ දී රුපියල් 132ක් වූ ඇමරිකන් ඩොලරය දැන් රුපියල් 154කට කිට්ටු වී තිබේ. ආර්ථිකය ගෙවුම් ශේෂ හි`ගයකට මුහුණපා තිබේ. ආර්ථික වශයෙන් ද රට ඇත්තේ අමාරු අඩියක ය.

මෙසේ ගත් කළ පෙර මහින්ද රාජපක්ෂ රෙජිමයේ අකටයුතු කියන්නාක් මෙන් දිගින් දිගට කිව හැකි පරිදි ‘මෛත‍්‍රී-රනිල් ආණ්ඩුවෙ’ දුර්ගුණ පිරී තිබේ.

රාජපක්ෂ රෙජීමය සමයේ සිදුවුණු මෙගා පන්නයේ දූෂණ වංචා සම්බන්ධයෙන් ගත් සැලකිය යුතු ක‍්‍රියාමාර්ගයක් දකින්නට නොලැබේ. ඒ වෙනුවට ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ අගසව්වෙකු ලෙස සැලකිය හැකි දුමින්ද දිසානායක අමාත්‍යවරයා කෘෂි කර්ම අමාත්‍යංශය වෙනුවෙන් ගොඩනැගිල්ලක් කුලියට ලබා ගෙන නටනා නාඩගම වැන්නක් ආණ්ඩුවේ ආචාරධාර්මිකභාවය ඉහළින් ම ප‍්‍රශ්න කරන්නකි.

යුක්තිය පසිඳලීමේ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ද උතුරු-නැගෙනහිරට තවදුරටත් සපුරා සාධාරණය ඉටු කර නැත. තවමත් තැන් තැන්වල වවුනියාවේ සිට මයිලඞ්ඩි දක්වා හමුදාව වෙත බාරදුන් පුතුන් ආපසු දෙන්නැ යි කියමින් උපවාස කරන මවුවරුන් ය. කෝපාපිලාවු වැනි ස්ථානවල හමුදා කඳවුරුවලට අවශෝෂණය කර ගත් තම ගම ආපසු දෙන්නැ යි ජනතාව කරන උද්ඝෝෂණයන් ය.

උතුරේ පමණක් නොව දකුණේ වැලිකඩ සිරගෙදර දී නම් අ`ඩගසමින් සාහසික ලෙස මරාදමනු ලැබූ සිරකරුවන් කෙරෙහි යුක්තිය ඉටු වී නැත. වරදකරුවන් අල්ලා ද`ඩුවම් දෙනු වෙනුවට ඝාතනයට ලක්වූවන් අතරින් පිරිසකට වන්දි ලබා දී සිදුවීම සමහන් කරනු දකින්නට තිබේ.

අධ්‍යාපනය විෂයෙහි ද ඇත්තේ මනෝඥ තත්වයක් නම් නොවේ. අන්තරේ ප‍්‍රමුඛව විශ්වවිද්‍යාල සිසුන් නිතර පාරේ ය. සයිටමය මහා ගැටලූවක් බවට පත් ව තිබේ. ගැටලූව සයිටමය හෝ අන්තරය නොව අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප‍්‍රතිපත්තියක් ඇති කිරීමට මේතාක් ‘මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව අසමත් ව තිබීම ය.

දිගින් දිගට සඳහන් කළ හැකි අවශේෂ දුර්ගුණ කරුණු කාරණා ද රාශියකි.

හොඳක් ඇත්තේ ම නැති ද?

මේ තාක් අප විමසුමට බඳුන් කළ කරුණු විෂයෙහි ‘මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව’ විෂයෙහි පැනෙන්නේ හොඳ චිත‍්‍රයක් නම් නොවේ.

එසේ වුවත් සංසන්දනාත්මකව බලනවිට වත්මන් ආණ්ඩුව පෙර පැවති රාජපක්ෂ රෙජිමයට සාපේක්ෂව ඉටු කර ඇති යහපාලනමය කරුණු ද රාශියකි. ඒවා කෙරෙහි නැමුණු සිත් ඇතිව යම් සුබාවාදී වර්ණනාවක් කිරීමෙන් අගතියක් සිදුවන්නේ නැත.

18 වැනි සශෝධනය ඉවත් කිරීම, තොරතුරු දැනගැනීමේ පණත සම්මත කැර ගැනීම, ස්වාධීන කොමිෂන් සභා ඇතිකිරීම සේ ම අධිකරණයෙහි ස්වාධීනතාව ඇති කිරීම වෙනුවෙන් ගත් ක‍්‍රියාමාර්ග ද පැසසුම් කටයුතු ය.

තවමත් මාධ්‍ය අවකාශයෙහි ද සැලකිය යුතු නිදහසක් දකින්නට ලැබෙයි. බීප් හ`ඩ ඇතුල්කිරීමෙන් තොරව නායකයින්ව විවේචනය කිරීමේ හැකියාව මාධ්‍යයන්ට ලැබී තිබේ. දේශපාලන පුතුන්ට කාර් රේස් පදින්නට අගනගරය වසා දැමීම් ආදිය දකින්නට නොලැබීම සහනයකි.

ලියැවිල්ල අවසානයේ කිව හැකි එක් කරුණක් තිබේ. වත්මන් ආණ්ඩුව ‘යහපාලන ආණ්ඩුව’ ලෙසින් අකුටිලව නම් කළ හැකි තත්වයකට තම පාලනය ගෙන එන්නට මෛත‍්‍රී-රනිල් සුසංයෝගී ආණ්ඩුව සමත් වී නැත.

෴ සඳුන් ප‍්‍රියංකර විතානගේ