ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තාජුඩීන් ඝාතනය: මහින්දගේ ‘ආරක්‌ෂක ලේඛනයේ’ කොළ කඩා ඉවත් කරලා.

රගර් ක්‍රීඩක මොහොමඩ් වෂීම් තාජුඩීන් ඝාතනය කළ දින හා ආසන්න දින කීපයක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‌ෂක සේනාංකය මගින් පවත්වාගෙන ගිය දෛනික ආරක්‌ෂක රාජකාරී සටහන් ලේඛනයේ කොළ කඩා හෝ කපා ඉවත් ඇතිබව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් එම ලේඛනය භාරව ක්‍රියා කළ යුද හමුදා නිලධාරීන් කැඳවා දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පසුගිය 30 දා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්‌ෂක සේනාංකය මගින් දෛනික ආරක්‌ෂක රාජකාරි සටහන් පවත්වා ගෙන ගිය අදාළ ප්‍රශ්න ගත ලේඛනයේ වර්ෂ 2012 මැයි 10 දා සිට එම 22 දා දක්‌වා සටහන් යොදා තිබූ කොළ කඩා හෝ කපා ඉවත් කර එහි පිටතට නොපෙනෙන ලෙස විනිවිද පෙනෙන සෙලෝටේප් පටියක්‌ දිග් අතට අලවා එහි දෙපස තිබෙන කොළ දෙක එකට අලවා තිබීම සැකයට භාජන වන කරුණක්‌ වන බැවින් එම ලේඛනය බාරව කටයුතු කළ නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට පියවර ගත් බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේය.
සිද්ධියට අදාළ පැමිණිල්ල කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්‌කි මහතා හමුවේ කැඳවනු ලැබූ අවස්‌ථාවේදී වැඩිදුර වාර්තාවක්‌ ගොනුකරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එසේ කියා සිටියේය.
හිටපු ජනාධිපති ආරක්‌ෂක සේනාංකයට අනුයුක්‌තව සිටි යුද හමුදා නිලධාරීන්ගෙන් හා සෙසු නිලධාරීන්ගෙන් ලබා ගත් ප්‍රකාශයන්ගෙන් අනාවරණය වූ කරුණුවල සත්‍ය අසත්‍යතාව පරීක්‍ෂා කරනු පිණිස තවදුරටත් පරීක්‍ෂණ පවත්වන බවද මෙම කාල වකවානුව තුළ ලේඛනයේ සඳහන් නිලධාරීන් සහ සෙසු නිලධාරීන් විසින් සිදු කරන ලද රාජකාරී පිළිබඳව විමසා යුද හමුදාව සහ නාවික හමුදාව මගින් මගින් වාර්තා කැඳවා ඇති බවද පැවැසූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනතෙක්‌ ඊට ප්‍රතිචාර ලැබී නොමැති බවද දන්වා සිටියේය.