ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ලසන්ත ඝාතනය ගෝඨාභයගේ වැඩක්..! – CIDය අධිකරණයට දැනුම්දෙයි..!

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුකල කණ්ඩායම කවුදැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දැනුම් දී තිබේ.

මේ අනුව ලසන්ත ඝාතනය කර ඇත්තේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ විශේෂ කණ්ඩායමක් විසින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මේ සදහා අදාල උපදෙස් ලබාදීම හා මෙහෙයවීම සිදුකර ඇත්තේ එවකට ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කල ගෝඨාභය රාජපක්ෂ විසිනි.

එසේම මෙම විශේෂ කණ්ඩායම විසින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය මෙන්ම මාධ්‍යවේදීන් වන උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් යන අයට පහරදීම ආදියද සිදුකර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වමින් පෙන්වා දී ඇති අතර මාධ්‍යවේදීන්ට සිදුකළ පහරදීම් ඇතුළු හිරිහැර බොහොමයක් එකිනෙකට සම්බන්ධ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට පවසා ඇත. ගෝඨාභය රාජපක්ෂ විසින් මාධ්‍යට එරෙහිව දියත් කරන ලද මර්දනයේ ප්‍රථිපලයක් ලෙස මෙම සිදුවීම් ඇතිවු බව පරීක්ෂණ වලින් තහවුරු වී ඇත.

මෙම කණ්ඩායම විසින් ජංගම දුරකථන සිම් කාඩ් පත් 5ක් භාවිතා කර ඇති බවත්, මෙම සිදුවීම් හා සම්බන්ධ සියලු ඇමතුම් ලබාගෙන ඇත්තේ එම සිම් කාඩ් යෙදූ දුරකථනවලින් බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර ගෙන ඇති අතර මෙම සිද්ධියට අදාළව හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන්ද ප්‍රකාශයක් ලබාගත් බවත්, එවක කොළඹ හා තදාසන්න ප්‍රදේශ බාරව සිටියේ මේවන විට විශ්‍රාමික මේජර් ජෙනරාල් අජිත් පෙරේරා බවත්, ඔහු නිසි ලෙස රාජකාරි නොකළ බවත් ෆොන්සේකා මහතා ලබාදුන් ප්‍රකාශයේ සඳහන් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම්දී ඇත.