විල්පත්තුවේ අක්කර 175ක් නීති විරෝධීව පළතුරු වගා සමාගමකට – පරිසරවේදී සජීව චාමිකර
විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ රක්ෂිත දෙකකට අයත් වනාන්තර අක්කර 175ක් නීති විරෝධී ලෙස එච්.වී.ඒ.ෆූඩ් සමාගමට ලබා දී ඇති බව පරිසර සංරක්ෂණ භාරය අනාවරණ කරයි.එහි අධ්යක්ෂ පරිසරවේදී සජීව චාමිකර මහතා පෙන්වා දෙන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම වන කලා ඔය හා සම්බන්ධව ඇති වනෝද්‍යානයේ ප්‍රේරක කලාපයේ පිහිටි රක්ෂිත වනාන්තර පද්ධතියෙන් මෙම ඉඩම් ලබා දී ඇති බවයි.
අදාළ සමාගම දැනටමත් මෙම රක්ෂිත ප්‍රදේශ දෙකට හා රාල්මඩුව – අච්චිමලේ පුරාවිද්‍යා රක්ෂිතයට අයත් වනාන්තර අක්කර 35ක් නීති විරෝධීව එළිපෙහෙළි කර පළතුරු වගා නියමු ව්‍යාපෘතියක් පවත්වා ගෙන යන බව සජීව චාමිකර මහතා සඳහන් කරයි.
එම වගා ව්‍යාපෘතිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4ක ආයෝජනයක් ලෙස ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.ඊට අපනයනය ඉලක්ක කර ගත් “කාබනික ගොවිතැන් නිවාඩු නිකේතනය “නමින් කෘෂි සංචාරක ව්‍යාපෘතියක්ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
අපනයන ඉලක්ක කර ගත් කාබනික කෘෂිකාර්මික ගොවිපලක් ලෙස මෙම වගා බිම පවත්වාගෙන යාමට සමාගම සුදානම් වුවත් කාබනික වගාවන් සහතිකකරණයේ ජාත්‍යන්තරව පිළිගත් මූලධර්ම වලට අනුව වනාන්තර බිම් එළිපෙහෙළි කර වගා බිම් ව්‍යාප්ත කිරීමේ හැකියාවක් නැත.
මෙම වගා ව්‍යාපෘතියට ලබා දී ඇති වනාන්තර ඉඩම් ජල පෝෂක ප්‍රදේශ වේ.ඊට අමතරව එම සමස්ත වනාන්තර පද්ධතියම අලි ඇතුන්ගේ ප්‍රධාන වාස භූමියකි.මේ අතර පුරා විද්‍යාත්මක හා ජෛව විද්‍යාත්මක වටිනාකම් රැසක්ද එම ප්‍රදේශයේ වෙයි.මේ වන විටත් එම සමාගම කළ කැණීමකදී අඩි 02ක් පමණ උස කිරිගරුඩ බුද්ධ ප්‍රතිමාවක් හමුවී තිබේ.ඊට අමතරව එම භූමියෙන් ශෛලමය ගල් ආසනයක් ඇතුළු ගල් කණු රැසක්ද හමුව ඇති බව සඳහන්.මෙම පුරාවිද්‍යාත්මක හා ජෛවවිද්‍යාත්මක කරුණු සැලකිල්ලට ගෙන තබ්බෝව අභය භුමිය හා වීරක්කුලිචෝලෙයි වන රක්ෂිතය නමින් විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිම හා සම්බන්ධ රක්ෂිත ජාලයක් ලෙස එම රක්ෂිත බිම් සඳහා නීතිමය ආරක්ෂාව ලබා දී ඇති බවයි චාමිකර මහතා සඳහන් කරන්නේ.
2003 වසරේදී පුත්තලම දිස්ත්‍රික් ඉඩම් පරිහරණ කමිටුවේදී දිස්ත්‍රික් ලේකම්,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව,වයඹ පළාත් පරිසර අධිකාරිය,වාරි මාර්ග දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන නියෝජිතයන් තීරණය කර ඇත්තේ එම ප්‍රදේශ සංවර්ධන කටයුතු සඳහා නිදහස් නොකළ යුතු බවයි.ඒ අනුව එච්.වී.ඒ.ෆූඩ් සමාගමට මෙම භූමියෙන් ඉවත් වන ලෙස පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී තිබේ.නමුත් දේශපාලන හා ආර්ථික බලවත්කම මත එම වගාවන් පවත්වා ගෙන යමින් හිඳියි.