ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSliderUncategorized

රත්නපුරේ සයිටම් විරෝධී රැළියේදී ඒකාබද්ධයට හූ සංග්‍රහයක්

ඊයේ රත්නපුර නගරයේ පැවති රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද සයිටම් විරෝධී රැළියේදී ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කතා කරමින් සිටියදී රැස්ව සිටි ජනතාව දිගින් දිගටම ඔහුගේ කතාවට බාධා කරමින් හූ කියන්නට වූහ. රංජිත්ද සොයිසා මන්ත්‍රීවරයා තම කතාව පවත්වමින් සිටින විට සභාව තුලින් විනාඩි 5ක් පමණ අඛණ්ඩව හූ හඬ එල්ල විය. අවසානයේ ඔහු කතාව අතරමග නවතා දමන ලදී. ඉන් පසුව කතා කළ වාසුදේව නානායක්කාර මහතාටද එවැනිම ජනතා විරෝධයක් එල්ල විය. මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විදයාලය ආරම්භ කිරීමේ කර්තව්‍යයේ නිර්මාතෘවරුන් වන මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පසුගිය ආණ්ඩුව මේ වන විට ඊට එල්ල වී ඇති ජනතා විරෝධය හමුවේ සයිටම් විරෝධී ස්ථාවරයකට පැමිණ ඇත. මෙය හුදෙක් දේශපාලන බලය සඳහා තම පැවැත්ම වෙනුවෙන් සිදුකරන්නක් බව ජනතාව අවබෝධ කොටගෙන ඇත. ඊයේ රත්නපුර රැලියේදී රංජිත්ද සොයිසා මන්ත්‍රීවරයාට මෙන්ම වාසුදේව නානායක්කාර හටද ඔවුන්ගේ කතාවට රැස්ව සිටි පිරිස බාධා කරමින් හූ කියන්නට වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.

සයිටම් විරෝධී අරගලයේ අඛණ්ඩව රැඳී සිටි පාර්ශව මෙම තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විට තම විරෝධය එල්ල කරමින් සිටී. විශේෂයෙන්ම රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ මහින්ද හිතවාදී ක්‍රියාකළාපය හේතුවෙන් ඔවුන් සංවිධානය කරන රැස්වීම් වලදී මහින්ද පාර්ශවයට වැඩි ඉඩකඩක් ලබා දීමට ඉතා සියුම්ව කටයුතු කරමින් සිටී. මෙම රැස්වීම් ආමන්ත්‍රණය කිරීම සඳහා එක් සංවිධානයකට එක් කතිකයෙකු බැගින් වෙන් කර ඇති තත්ත්වයක් තුල ඒකාබද්ධ විපක්ෂයට අවස්ථා කිහිපයක් නිර්මාණය කර දීම මෙහිදී කැපී පෙනෙයි. ඊයේ රත්නපුර රැළියේදීද ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් රංජිත්ද සොයිසා, ජානක වක්කුඹුර, වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරුන් සඳහා කතිකයින් ලෙස ඉඩ ප්‍රස්ථාව ලබා දී තිබුණි. මීට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකටද වේදිකාවට ගොඩවීමට සංවිධායකයින් ආරාධනා කරන ලදී.

මෙම සියළු තත්ත්වයන් හමුවේ පෙනී යන්නේ සයිටම් විරෝධී අරගලයේ කොටස්කරුවෙකු ලෙස මහින්ද පාර්ශවය ඉස්මතු කිරීමට රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය යත්න දරන බවයි. නමුත් බරපතල ගැටළුව වන්නේ මහින්ද රාජපක්ෂ පාලනය තුල ආරම්භ කරන ලද මාලඹේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සඳහා එවකට උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක ඍජුව මැදිහත් වෙමින් දායකත්වය ලබා දුන් අතර මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ආණ්ඩුව ඒ සඳහා දිරිදෙන ලදී. රුපියල් මිලියන 600ක සහනදායී ණයක් සයිටම් ආයතනයට ලබා දීමටද මහින්ද රාජපක්ෂ ක්‍රියාකරන ලදී. ඉන් නොනැවතී සයිටම් ආයතනයේ අධ්‍යාපනය ලැබීමට පසුගිය ආණ්ඩුව විසින් ශිෂ්‍යත්ව පිරිනැමීමක්ද සිදු කරන ලදී. තවද නාමල් රාජපක්ෂ, සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක වැන්නවුන් සයිටම් ආයතනය වෙනුවෙන් එකල පෙනී සිටි අයුරු කාටත් රහසක් නොවේ.

මෙම තත්ත්වය තුල සයිටම් ආයතනයට එරෙහිව ප්‍රබල සමාජ මතයක් නිර්මාණය වන විට එහි කොටස්කරුවන් වීමට මහින්ද පාර්ශවය උත්සහ ගනිමින් සිටින බව මෙම මැදිහත් වීම හරහා පෙනී යයි. ඒ සඳහා අනුරුද්ධ පාදෙනිය ප්‍රමුඛ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය  ඔවුන්ට යටිතල පහසුකම් සපයමින් සිටී. එම තත්ත්වයට එරෙහිව ජනතාව දක්වන ප්‍රතිචාරයක් ලෙස රත්නපුර රැළියේදී ඒකාබද්ධයේ කථිකයින්ට එල්ල වූ විරෝධය දැක්විය හැක.