හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීමේදී වරාය අධිකාරිය නොසලකා හැරලා.
හම්බන්තොට වරාය චීන ආයෝජකයන්ට පැවරීමේ ක්‍රියාවලියේදී මෙම විෂය භාර ශ්‍රී ලංකා වරාය අධිකාරිය නොසලකා කටයුතු කර ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අද (13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
නීතීඥවරයා එලෙස දැනුම් දුන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදීය. මෙම පෙත්සම අගවිනිසුරු කේ ශ්‍රී පවන් සහ අනිල් ගුණරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ සලකා බැලිණි.
ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකා වරාය අධිකාරි පනතේ (88) වගන්තියට අනුව වරාය ගැන තීන්දු ගැනීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා වරාය අධිකාරියට බවයි. මෙම සිද්ධියේදී ශ්‍රී ලංකා වරාය අධිකාරිය සම්බන්ධ කර නොගැනීම පිළිබඳව විෂය බාර අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී සිය විරෝධය පළ කළ බව ද නීතීඥවරයා කීවේය.