ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශ්‍රී ලාංකිකයින්ට ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළුවීම ඉන්දීය සමාගම තහනම් කරයි..!

ත්‍රිකුණාමල චීන වරායේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයෙන් තෙල් ටැංකි 84 ක්. බදු ලබාගත් බව සඳහන් කරන ඉන්දීය සමාගම මේ වනවිට ලංකා රජයේ කිසිවෙකුටත් එම පරිශ්‍රයට ඇතුළු වීමට ඉඩ ලබානොදෙන තහනම් කලාපයක් බවට පත්කර ඇතැයි ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමය සඳහන් කරයි.

2003 වසරේ ඇති කරගත් ගිවිසුමට අනුව මාස 06 ක් ඇතුළත එළඹීමට තිබූ බදු ගිවිසුම ක්‍රියාත්මක නොවූ නිසා ඉන්දීය සමාගමට එම භූමියේ පිහිටි කිසිදු තෙල් ටැංකියක් පරිහරණය කළ නොහැකි බවද එම සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කළේය.

මේ ආකාරයට නීති විරෝධී ආකාරයට පරිහරණය කරන තෙල් ටැංකිවලට අමතරව තවත් තෙල් ටැංකි 16 ක් පවතින බවත්, එම තෙල් ටැංකි භාවිත කිරීමට ලංකා රජය කැබිනට් පත්‍රිකාවක්ද අනුමත කරගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

එම කැබිනට් පත්‍රිකාවට අනුව අදාළ කටයුතු සිදුකිරීමට චීන වරායේ තෙල් ටැංකි පරිශ්‍රයට ගිය ලංකා ඛනිජ තෙල් සංස්ථා නිලධාරීන්ට අදාළ සමාගමේ නිලධාරීන් විසින් තෙල් ටැංකි සංකීර්ණයට ඇතුළුවීමට ඉඩ ලබා දී නැතැයිද ඒ මහතා සඳහන් කළේය.

ඉන්දීය රජයේ නියෝගයකින් තොරව මෙම පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ ලබානොදෙන බවට සමාගමේ බලධාරීන් පවසා තිබෙන බවත්, මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක් බවත් සභාපතිවරයා සඳහන් කළේය.