මහජන මුදලින් ලොස් ඇන්ජලිස්හි සැපගත් ගෝඨාගේ පුතා ගැන මංගලගෙන් FCID යට පැමිණිල්ලක්.
රාජපක්ෂ පාලන සමයේදී රටේ මහජන මුදලින් කෝටි ගණනක් ගෙවා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර සුපිරි නිවසක් කුලියට ගෙන නවාතැන් සපයාදුන්නේ කව්රුන් සඳහාදැයි සොයා බලන ලෙස විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට (FCID) පසුගිය 03දා පැමිණිල්ලක් කර තිබේ.
මිට අදාළ ලිපිගොනු හා තොරතුරු රැසක් FCID ය වෙත ලබාදී ඇති විදේශ ඇමතිවරයා, ලොස්ඇන්ජලිස් කොන්සුලර් කාර්යාලය සඳහා යයි කුලියට ගෙන තිබු මෙම නිවාස සඳහා විදේශ අමාත්‍යංශය මාසිකව ඇමරිකානු ඩොලර් 8000ක් ගෙවා ඇතත් එහි කිසිදිනෙක කාර්යාලයක් පවත්වා ගෙන ගොස් නැති බව සඳහන් කර තිබේ.
2015 මාර්තු මස දක්වා රාජපක්ෂ පාලනයේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්සගේ පුතා උසස් අධ්‍යාපන කටයුතු සඳහා මෙම නිවසේ පදිංචිව සිටි බව තානාපති කාර්යාල ලිපිගොනුවලින් අනාවරණය වී ඇතැයි සිය පැමිණිල්ලෙන් කියා සිටින විදේශ ඇමතිවරයා, ඔහුගේ ආරක්ෂාව සඳහා ජනාධිපති ආරක්ෂක අංශයට අනුයුක්තව සිටි යුධ හමුදා සෙබළුන් දෙදෙනෙකු රියදුරන් ලෙස යොදවා සිටි බවද කියා සිටියි.
එම සෙබළුන් දෙදෙනා යුධ හමුදාවෙන් පමණක් නොව විදේශ අමාත්‍යංශයෙන් ද වැටුප් ලබාගෙන ඇති බව විදේශ ඇමතිවරයා ලියකියවිලි මගින් තහවුරු කර තිබේ.
මෙම නිවාස සඳහා මාසික කුලියට අමතරව ජල විදුලිය හා රුපවාහිනි ගාස්තු ගෙවා ඇත්තේ ද විදේශ අමාත්‍යංශයෙන් බව බව සිය පැමිණිල්ලේ සඳහන් කර ඇති ඇමතිවරයා, වත්මන් රජය බලයට පත්වීමෙන් පසු මෙම නිවාස යලි බාරදීමේදී අලභහානි වශයෙන් ඇමරිකානු ඩොලර් 10,000ක මුදලක් ගෙවීමට සිය අමාත්‍යංශයට සිදුවූ බවද කියා සිටියි.
මේ අතර සෙසු රාජපක්ෂවරු මෙන් ‘කපටි සූට්’ නොඅඳින ලද, සාටක නොපලඳින ලද ගෝඨාභය “පිරිසුදු චරිතයක්” ලෙසට ප්‍රවර්ධනය කිරීමට ඇතැමුන් උත්සාහ කරමින් සිටියද මංගල සමරවීර මහතා පසුගිය තිස්වැනිදා ගෝඨාභයගේ පැටිකිරිය පාර්ලිමේන්තුවේද දිග හැරියේ, ඇමෙරිකාවේ වෙසෙන ඔහුගේ පුත්‍රයකු හා සම්බන්ධ සිදුවීමක් අනාවරණය කරමිනි. ගෝඨාභයගේ පුත්‍රයකු ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි කොන්සල්වරයකු නොමැති නිවසක පදිංචි කරවා, එහි නඩත්තුව සඳහා රජයේ මුදලින් කෝටි දෙකකට වඩා වැඩි මුදලක් වැය කර ඇති බව හා ඒ පිළිබඳ ඉහළ පෙළේ පරීක්ෂණයක් පවත්වන බව තම අමාත්‍යාංශයේ වැය ශිර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමින් මංගල සමරවීර මහතා සඳහන් කර තිබිණි.