ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-02Slider

මහින්දගෙ අලුත් පදේ..!

“මහින්දට එරෙහිව නඩුව විභාග කරන්න තීන්දු කරයි.”
පුවත්පත් මේ ප්‍රවෘත්තිය වාර්තා කළේ නොවැම්බර් 23 වැනිදාය. මහින්ද මෙතෙක් කළ සමහර ප්‍රකාශවලට සාපේක්ෂව ගත්විට, එය මහින්දගේ ජයග්‍රහණයකි. මහින්ද මෙතෙක් කියමින් සිටියේ තමන් වරදක් කළා නම් දඬුවම් කරන ලෙසය.
“කෝ අත්අඩංගුවට ගත්තා”, “කෝ වැරදිකාරයො කළා….”, “කෝ වැරදි ඔප්පු කළා….”
මහින්දගේ පාර්ශ්වයෙන් නිතරම කියැවුණේ ඔහොම කතාය.
වර්තමාන ජනාධිපතිතුමා බලයට එන්නේද ඔය කාරණා ටික ගැනම පොරොන්දු වෙමිනි. ජනතාවට අවශ්‍යව තිබුණේත් ඕකමය. අන්තිමට ජනතාව මෛත්‍රි – රනිල් ආණ්ඩුවෙන් අහන්න පටන් ගත්තේත් ඒ ගැනය.

“කෝ වැරදිකාරයො”, “කෝ දඬුවම් කළා….”
නමුත් ආණ්ඩුව නිතරම රට පටලවා ගත්තේය. ජනාධිපතිවරණයට කලින් වැරැදි පෙන්නුවේ කඳු වගේය. නමුත් චෝදනා ඉදිරිපත් කළේ කෙඳි ගාණටය. කොහොමත් මේ ආණ්ඩුව මොන කයිවාරු ගැහුවත්, රාජපක්ෂලාට ආදරෙන් නොසලකනවා යැයි කියන්නට තවම කරුණු ප්‍රමාණවත් නැත. මහ හයියෙන් ගොරවන නමුත්, තවමත් වැස්සේ නැත. රාජපක්ෂ පවුලේ අය ජ්ඛ්ධ්ච්යටත් එතැනින් උසාවියටත්, උසාවියෙන් හිර ගෙදරටත්, හිර ගෙදරින් රෝහලටත්, රෝහලෙන් හැකි ඉක්මනින් ගෙදරත් යැව්වේය. නාමල්ලා, බැසිල්ලා හිරගෙදරින් ගෙදර ගියේ හරි ආඩම්බරයෙනි. ඒ නිසා මහින්දට, මහින්දගේ කාලයේ තරම් බය වෙන්නට දෙයක් ඇත්තේම නැත.
නමුත් මහින්ද සෙල්ලම දන්නේය. දැං තුරුම්පු ඇත්තේ මෛත්‍රිගේත් රනිල්ගේත් අතේය. ඒ දෙන්නා අඩු කොළ කඩේ යවනා එක ඒ දෙන්නාගේ ප්‍රශ්නයකි. දැං මහින්දගේ අතේ තුරුම්පු ඉවරය. 2017 ජනවාරි 26ට පෙර මහින්ද දාන සෙල්ලමක් දාගත යුතුය. ලබන අවුරුද්දේ ජනවාරි 26 වැනිදා මහින්දට විරුද්ධව නඩුව අසන්නට පටන් ගැනීමට නියමිතය. කොළඹ වාණිජ මහාධිකරණයේ විනිසුරු ශිරාන් ගුණතිලක මහතා පසුගිය 22 වැනිදා ඒ තීන්දුව ගත්තේය. ඒ පසුගිය ජනාධිපතිවරණ සටනේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලී පදනම මත ලබාගත් බස් රථවලට ගාස්තු නොගෙවීමෙන් රජයට රුපියල් දාහතර කෝටි විසිපන් ලක්ෂයක් පාඩු කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

“හාමුදුරුවනේ…. අපි වැරදි කළා නම් දඬුවම් කරන්න….” කියූ මහින්ද දැං කියන්නේ වෙනමම කතාවකි. දැං මහින්ද දේශපාලන සිරකාරයන් ගැන කියන්නට පටන්ගෙන තිබේ.

“තිස්ස අත්තනායක අත්අඩංගුවට ගැනීම මුළුමනින්ම දේශපාලනික පළිගැනීමක්….”
මහින්ද මේ කතාව කියන්නේ හිර ගෙදරදී රෝගී වූ තිස්සව බලන්නට බන්ධනාගාර රෝහලට ගිය අතරය. මහින්දට අනුව තිස්ස දේශපාලන සිරකරුවෙකි. දැන් මහින්දට දේශපාලන සිරකරුවන් ගැන මතක් වුණාට මහින්දගේ පාලන කාලයේ ඒ ගැන මතක තිබුණේ නැත.
මහින්දත් සමඟ 2010 ජනාධිපතිවරණ සටනට පිවිසි සරත් ෆොන්සේකාව පරාජය කිරීමෙන් පමණක් මහින්දට ඇතිවුණේ නැත. මහින්ද ජනාධිපති වෙද්දී රටේ ජනතාවගේ මනාපයෙන් සියයට හතළිහකට වඩා ලබාගත් තම ප්‍රතිවාදියාව අත්අඩංගුවට ගත්තේය. ජනාධිපතිවරණය තිබුණේ ජනවාරි 26 වැනිදාය.
සරත් ෆොන්සේකා හමුදා අත්අඩංගුවට ගන්නේ පෙබරවාරි 8 වැනිදාය.

මහින්දගේ කාලේ නඩුත් හාමුදුරුවන්ගේය. බඩුත් හාමුදුරුවන්ගේය. අන්තිමට හාමුදුරුවන්ටත් කට උත්තර නැත. හාමුදුරුවන් මහින්දගේය. මහින්ද ෆොන්සේකාව සියලු හමුදා නිලතලවලින් පහකරනා විට වගේ වගක් නැතිව සිටියේය. අන්තිමට ෆෙන්සේකාට වසර 3ක සිර දඬුවමක් ලැබෙද්දීත් මහින්ද සද්ද නැතිව සිටියේය. කොකාටත් තිත්තයාටත් දෙදෙනාටම වාරය බැගින් එන බව මහින්ද ඒ කාලේ හිතුවේ නැත. මහින්ද තරම් ලංකාවේ දේශපාලනයේ හැඩතල දැන සිටි දේශපාලකයෙක් නැති තරම්ය. නමුත් මහින්ද හිතාගෙන හිටියේ කතන්දරය කොකාගේ වාරයෙන්ම අවසාන වේය කියාය. මහින්දට වැරැදුණේ එතැනය.
1971 අප්‍රේල් නැගිටීමෙන් පසු රෝහණ විජේවීර ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත්විය. ඔවුන්ට එරෙහිව නඩු අහන්නට අපරාධ විත්ති විනිශ්චය පනත යටතේ 1972 අප්‍රේල් 05 වැනිදා අපරාධ විත්ති විනිශ්චය කොමිෂන් සභාව පිහිටුවා ගත්තේය. එහිදී විජේවීර ඇතුළුව විශාල පිරිසක් අත්අඩංගුවට පත්ව සිරදඬුවම් නියම විය. මේ අය එවක රජයෙන් ඉල්ලා සිටියේ තමන්ට දේශපාලන සිරකරුවන්ගේ තත්ත්වය ලබා දෙන ලෙසය. නමුත් එවකට පැවැති සිරිමාවෝගේ රජය එයට කැමැති වූයේ නැත.
“සාමාන්‍ය නීතිය යටතේ දඬුවම් නියම වූ කිසිවෙක් සිරකරුවෙක් මිසක් දේශපාලන සිරකරුවෙක් නෙවේ…..”

රජය එවක හිටියේ එහෙම මතයකය. ඒ කාලයේ ඒ රජයේ ද මහින්ද මන්ත්‍රිවරයෙකි. ආධුනික මන්ත්‍රිවරයෙක්ව සිටි තරුණ මහින්දට තමන්ගේ වයසට සමාන්තර වයස් සීමාවක සිටි විප්ලවවාදීන් දේශපාලන සිරකරුවන් බව ඒ කාලේවත් මතක් වුණේ නැත. අන්තිමට විජේවීරලා ‘හංගි්‍ර ස්ට්‍රයික්’ එක පටන් ගත්තේය. සිරිමාවෝ රජය විජේවීරලා දේශපාලන සිරකාරයන් බව පිළිගනිද්දී විජේවීරලා හිටියේ නැඟිිටගන්නවත් බැරි තරමට අකර්මණ්‍යවය.

ඒ නිසා දැන් දේශපාලන හිරකාරයන් ගැන කතා කරන්නට පමා වුණා වැඩිය. මේ යන්නේ අර උන්නාන්සේට බෙදන්නැයි කී උන්නාන්සේගේ ක්‍රමයයි. මහින්දට විසිහය වැනිදාට මොකක් වුණත් ඒකාබද්ධයේ අය ඒකට යෝජනා කරන්නේත් මේ නමය. ඒ “දේශපාලන පළිගැනීම” කියනා එකය. සමහර විට ජනතාව එයට “කළ කළ දේ පල පල දේ” කිව්වොත් ඒ කතාවේද වරදක් නැත.

ජීවන් පහන් තිළිණ