ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

තමන්ගේ ඡායාරූප ද උපයෝගී කරගෙන බලයට පැමිණී මෛත්‍රීගෙන්, ‘මම ඉල්ලන්නෙ යුක්තිය’..! -(video)

බලයට පැමිණීම සඳහා තමන්ගේ ඡායාරූප ද උපයෝගීකරගත් වත්මන් ජනාධිපතිවරයා තමා වෙනුවෙන් යුක්තිය ඉටුකරදීම අමතකකර ඇතිබව සන්ධ්‍යා එක්නැළිගොඩ පවසයි.

අතුරුදන්වූ මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩගේ බිරිඳවන ඇය මේ බව පැවසුවේ අත්අඩංගුවේ පසුවන හමුදා බුද්ධි අංශ සාමාජිකයන් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පසුගියදා කළ කතාවට විරෝධය පළකිරීම සඳහා අද (ඔක්. 21) කැඳවා තිබු මාධ්‍ය හමුවකදීය.

අල්ලස් කොමිසම හා පොලිසියට චෝදනාකරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සතියේ කළ ආන්දෝලනාත්මක කතාවේදී හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දිගින් දිගටම සිරකර තැබීම ගැන විරෝධය පළකෙරිණ.

එහිදී ජනාධිපතිවරයා පැවසුවේ ඔවුන්ට එරෙහිව නඩු පැවරීම හෝ නිදහස් කිරීම යන දෙකෙන් එකක් කළ යුතු බවය.

‘පෝස්ටර් ව්‍යාපාරයක්’

ඊට ප්‍රතිචාර දැක්වූ සන්ධ්‍යා එක්නැළිගොඩ, ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීම පිළිබඳ නඩුවට අදාළ සැකකරුවන් රඳවාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් “ජනාධිපතිතුමා කිව්වා මාස 18ක් මේ නිලධාරීන් නඩු නැතිව හිරේ තියාගෙන ඉන්නවා කියලා, ජනාධිපතිතුමනි මම මාස 81 මේ ගැන යුක්තිය ඉල්ලා සිටිනවා” යැයි කීවාය.

කිසිවකුටත් වරදක් කර නැති තමන්ට එරෙහිව පෝස්ටර් ව්‍යාපාරයක යෙදෙන්නේ කවුදැයි ප්‍රශ්න කළ ඇය පැවසුවේ, ” මේ රටේ කාටද මොකද්ද මම කරපු වරද මට විරුද්ධව පෝස්ටර් ගහන්න, මම බොහොම ආඩම්බරෙන් කියනවා මම බත් පැකට් විකුණලා තමයි මගේ දරුවන් රකින්නේ කියලා” යනුවෙනි.

“අධිකරණයට හමුදාව කිව්වා ප්‍රගීත් කොටි සංවිධානයට සම්බන්දතාවයක් නැහැ කියලා, එහෙම කියලත් මේ අය මට කියනවා මම කොටි සන්ධ්‍යා කොටි සුරතලියක් කියලා” යැයි කී ඇය තමන්ගේ ඡායාරූපය පවා යොදාගෙන බලයට පත්වූ වත්මන් ජනාධිපතිවරයා තමන්ට යුක්තිය ඉටුකර දීම පිළිබඳව දැන් අමතක කර ඇතැයි ද මෙහිදී චෝදනා කළාය.

ඇය වැඩිදුරටත් කියා සිටියේ, “මම ඔබතුමාගෙන් මේ අවුරුදු දෙකේ කිසිම වරප්‍රසාදයක් ඉල්ලා නැහැ, මම ඉල්ලන එකම දේ මට යුක්තිය ඉටුකරලා දෙන්න කියලා විතරයි” යනුවෙනි.

(බීබීසි සංදේශය)

 

Posted by BBC Sinhala – සංදේශය on Friday, October 21, 2016

Comments are closed.