පොලිස් කාන්තාවන්ට පොලිසියෙන් ‘ලිංගික හිරිහැර’
පොලිස් නිලධාරීන්ගෙන් සිදු වන ලිංගික හිරිහැර ඇතුළු ශ්‍රී ලංකාවේ පොලිස් සේවයේ නිරත කාන්තාවන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදීම පිණිස පියවර ගනිමින් සිටින බව ජාතික පොලිස් කොමිසම පවසයි.
පොලිස් කාන්තාවන් මුහුණ දෙන ලිංගික අතවර වැළැක්වීමේ කෙටී කාලීන පියවරක් වශයෙන්, පළාත් නවයටම දැනටමත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරිනියන් පත් කර ඇති බවත් කොමිසමේ සභාපති මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ බීබීසී සංදේශයට පැවසීය.
“ඒක හැම ආයතනයකම තියන ගැටලුවක්. ඕක පොලිසියට පමණක් සීමා වුන එකක් නෙවෙයි. විශ්ව විද්‍යාලවල ඔය ප්‍රශ්නය තියෙනවා,” ඔහු පැවසීය.
එබැවින් පොලිස් කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර වැළැක්වීමේ දිගුකාලීන පියවරක් වශයෙන් එයට එරෙහි ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවත් මහාචාර්යවරයා පවසයි.
ජ්‍යෙෂ්ඨත්වය සහ දක්ෂකම්වලට සරිලන පරිදි උසස්වීම් නොලැබීම ඇතුළු පොලිස් කාන්තාවන් මතුකරන වෘත්තීයමය ගැටළු සම්බන්ධයෙන් කෙටි කාලීන සහ දිගු කාලීන වශයෙන් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් මහාචාර්ය හෙට්ටිගේ සඳහන් කළේය.
වර්තමානයේ සියයට එකොළහක් පවතින පොලිස් දෙපාර්තමේන්තුව තුල පොලිස් කාන්තාවන්ගේ ප්‍රතිශතය වැඩි කිරීමට යෝජනා කිරීම ඔහු පෙන්වාදෙන තවත් පියවරක්.
“විශේෂයෙන් පොලිසිය තුළ අඩු මට්ටමින් පවතින කාන්තා ප්‍රතිශතය සෑම මට්ටමකම තනතුරුවලට අදාළ වෙන විදිහට වැඩි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා,” ජාතික පොලිස් කොමිසමේ සභාපතිවරයා කියා සිටියේ කොමිසමට වසරක් පිරීම නිමිත්තෙන් බීබීසී සංදේශයට අදහස් දක්වමින්. (සාකච්ඡාවට සවන්දෙන්න)
පොලිසියට එරෙහිව ලැබී ඇති මහජන පැමිණිලි ඇතුළු පොලිස් නිලධාරීන් විසින් කරන ලද අපචාර පිළිබඳ අධ්‍යයන කරමින් ඒ සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කරමින් සිටින බවත් මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ වැඩිදුරටත් පැවසීය.
පොලිසියේ කාර්යක්ෂමතාව සහ වගකීම සම්බන්ධයෙන් සෑම පොලිස් ස්ථානයකම පිළිබඳ ‘සමාජ විගණනයක්’ (social audit) කිරීම පොලිස් කොමිසම යෝජනා කරන තවත් ක්‍රියාමාර්ගයක්.
යළිත් වරක් රට තුල පැතිර යමින් තිබෙන අපරාධ රැල්ල මැඩලීම පිණිස නිසි පියවර නොගන්නා බවට පොලිසියට එල්ල වන චෝදනා පිළිබඳව විමසූ අවස්ථාවේ මහාචාර්ය සිරිපාල හෙට්ටිගේ කියා සිටියේ, අපරාධ වැළැක්වීම පිණිස පොලිසියේ කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩිකිරීමට දැනටමත් ඇතැම් පියවර ගෙන තිබෙන බවයි.
“මීට අමතරව පොලිස් ස්ථානවල තිබෙන අඩුපාඩු හඳුනා ගෙනීම සඳහා විශේෂ පරීක්ෂණයක් අපි පවත්වනවා. මහජනතාවට වග කියන පොලිසිය කියන මාතෘකාව වචනයට විතරක් සීමා කරන්න නැතුව ඒ සඳහා සමාජ විගණනයක් කරන්න අපි පියවර අරගෙන තිබෙනවා.”
දශක ගනනැවක් තුල ගොඩ ගැසුණු ගැටළු මාස කිහිපයක් තුල විසඳිය නොහැකි බව පෙන්වා දුන් සභාපතිවරයා, ශ්‍රී ලංකාවේ පොලිස් සේවය තුල ප්‍රබල පරිවර්තනයක් ඇති කිරීම සිය බලාපොරොත්තුව බව වැඩිදුරටත් පැවසීය.
(බීබීසී සංදේශය)