ColomboXnews

News | Gossip | Political | Entertainment

Article-03Slider

ෆින්ලන්තය සාක්ෂරතාවය අතින් ප්‍රමුඛයා වුයේ කෙසේද..!

ඇමෙරිකාවේ නිව් බ්‍රිට්න්හි සෙන්ට්‍රල් කනෙක්ටිකට් විශ්ව විද්‍යාලයේ ප්‍රධානී ජෝන් මිලර් විසින් පවත්වන ලද සමීක්ෂණයකට අනුව ලොව සාක්ෂරතාවය අතින් ඉහලින්ම සිටින රට ෆින්ලන්තයයි.

අධ්‍යාපනය, පුස්තකාල පහසුකම් මෙන්ම රටේ පුවත්පත්වල ගුණාත්මකභාවය මේ සමීක්ෂණය සඳහා යොදාගෙන තිබෙන ප්‍රධාන නිර්ණායක.

අධ්‍යාපනය ක්‍රමයේ පවතින අපූරු විශේෂතා හේතුවෙන් ෆින්ලන්තය ලොව සාක්ෂරතාවය අතින් ඉදිරියටම පැමිණ සිටින බවයි, කලක් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදිනියක ලෙස සේවය කළ, දැනට හෙල්සින්කි අගනුවර වෙසෙනශකිලා දිසානායක බීබීසී සංදේශයට කියා සිටියේ.

1990 දී සිදු කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුලින් ෆින්ලන්තයට නව අධ්‍යාපන ක්‍රමයක් හඳුන්වා දෙන ලදි. එය සම්පූර්ණ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයක්.

එම අධ්‍යාපන ක්‍රමවේදය තුළ ෆින්ලන්ත ජාතික සිසුන්ට මෙන්ම එහි වෙසෙන විදේශීය සිසුන්ටද එකසේ සමාන අවස්ථා ලබා දෙන අතරම අධ්‍යාපන ක්‍රමවේදයේ මූලිකම පරමාර්ථය වී තිබෙන්නේ, තරඟ විභාගවලින් ඔබ්බට ගිය අධ්‍යාපනයක් සදහා ශිෂ්‍යයින් යොමු කිරීම බවයි ශකිලා දිසානායක පවසන්නේ.

ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන මේ කරුණු දැන සිටියාද?Image copyrightGETTY IMAGES

“මෙහෙ ප්‍රාථමික හෝ මූලික අධ්‍යාපනය තුල ජාතික මට්ටමේ විභාග නැහැ. එකම ජාතික මට්ටමේ විභාගය උසස් පෙළ සිසුන් සඳහා අවසාන වසරේ පවත්වන විභාග පමණයි,” ඇය සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ අදහස් දක්වමින්.

මුල් ළමා විය අධ්‍යාපනය සහ රැකවරණය සඳහා අවුරුදු පහ දක්වා වූ දරුවන් යොමු කෙරෙන අතර ඉන් පසු, පෙර ප්‍රාථමික අධ්‍යාපනයට ඔවුන් යොමු කෙරේ.

මූලික අධ්‍යාපනය වසර නමයක් දක්වා දිව යන අතර, ඉන්පසුව උසස් පෙළ අධ්‍යාපනය සඳහා යොමුවන්නේද? නොඑසේනම් ප්‍රාථමික වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමුවන්නේද යන්න තීරණය කිරීමට සිසුන්ට අවස්ථාව උදාවේ.

මුලික අධ්‍යාපනයෙන් පසුව උසස් පෙළ අධ්‍යාපනයට යොමු වන ශිෂ්‍යයෝ වසර 3 ක් එම අධ්‍යාපනය හදාරා ,තුන්වන වසර අවසානයේ පවත්වනු ලබන පරීක්ෂණයට මුහුණ දෙති.

ෆින්ලන්තයේ ජාතික මට්ටමේ එකම විභාගයද එයයි.

ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන මේ කරුණු දැන සිටියාද?Image copyrightGETTY IMAGES

නවීණ තාක්ෂණික විධි යොදාගනිමින් පාසල් තුළ අධ්‍යාපනය ක්‍රියාත්මක වන අතර, පාසල් මට්ටමෙන් සංස්කෘතික අංගයන්ට මෙන්ම ක්‍රීඩා වලටද ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කෙරේ. සෑම වසරකම කෙටි කාලයක් (සතියක් හෝ දෙකක්) කිසියම්ම හෝ වෘත්තීය පුහුණුවක නියැලීම අත්‍යවශ්‍ය වන අතර සියලුම පාසල් තුල ළමුන්ට දිවා ආහාරය ලබාදේ.

ඉහළ ගුණාංගයන්ගෙන් යුත් ෆින්ලතයේ අධ්‍යාපන ක්‍රමය තුල සිසුන්ට කිසිදු මානසික ආතතියකින් තොරව නිදහසේ සිය අධ්‍යාපන කටයුතු කිරීම පිණිස සියලු පහසුකම් සපයා දී ඇති බවත් දැනට ෆින්ලන්ත රතු කුරුස සංවිධානයේ ස්වේච්ඡා සේවිකාවක ලෙසින් කටයුතු කරන ශකිලා දිසානායක පවසයි.

උසස් අධ්‍යාපනයට යොමුවීමේදී අවශ නම් අධ්‍යාපනය පිළිබඳ උපදේශන සේවා සපයා ගැනීමටත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පහසුකම් සැලසේ. සිසුන්ට සෞඛ්‍ය ගැටළු වෙනුවෙන් සහ මානසික උපදේශන ලබාදීමට සෑම පාසලකම හෙදියක්ද සිටි.

උසස් අධ්‍යාපනයට යොමු වීමේදී , ප්‍රථමික වෘත්තීය අධ්‍යාපනයට හෝ උසස් වෘත්තීය අධ්‍යාපනයට (university of applied science) යොමුවන්නේද, නොඑසේනම් වීශ්වවිද්‍යාල අධ්‍යාපනට යොමුවන්නේද යන්න සිසුන්ගේ අභිමතය පරිදි තෝරාගැනීමක් කිරීමට අවස්ථාව සැලසේ.

ෆින්ලන්තයේ අධ්‍යාපනය ගැන මේ කරුණු දැන සිටියාද?Image copyrightGETTY IMAGES

සිසුවෙකුට ප්‍රාථමික වෘත්තීය අධ්‍යාපනයෙන් අනතුරුව උපාධියක් හැදෑරීමට අවශ්‍ය නම් උසස් පෙළ අධ්‍යාපන සුදුසුකම නොමැතිව ඒ සඳහා උසස් වෘත්තීය අධ්‍යාපනයට යොමුවීමේ හැකියාව තිබේ.

මානසික හෝ ශාරීරික ආබාධ පවතින සිසුන් සඳහා විශේෂ වෙනම අධ්‍යාපන ක්‍රමවේදයක්ද ෆින්ලන්තයේ ක්‍රියාත්මක වේ. ඔවුන්ට රජය විසින් සුදුසු වෘත්තීය පුහුණුවක්ද ලබාදෙන්නේ ඔවුන්ටද රැකියා වෙළඳපොළට දොරටු විවෘතකර දෙමින්.

පුර්ණ කාලීන අධ්‍යාපනයේ නිරතවන්නන් දිරිමත් කිරීම පිණිස රජය විසින් මාසික දීමනාවක් ලබා දෙන බව පවසන ශකිලා දිසානායක, රටේ අනාගත පරපුරේ දැනුම වර්ධනය කිරීම සඳහා ෆින්ලන්ත රාජ්‍යය හැකි උපරිම උත්සාහය දරන බවත් වැඩිදුරටත් සංදේශයට කියා සිටියාය.

නිසි දත්ත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ සමීක්ෂණයට යොදා ගෙන තිබෙන්නේ රටවල් 61ක් පමණයි. එබැවින් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් මේ සමීක්ෂණ වාර්තාවට ඇතුලත් වී නැහැ.

(ෆින්ලන්තයේ පුස්තකාල පහසුකම් සහ පුවත්පත්වල ගුණාත්මකභාවය පිළිබඳ සංවාදයට සවන්දෙන්න).